පොඩි නිළමේ පෙරවදන් කියූ අයුරින්ම මට එදින සවස් වන විට දරුණුවටම උණ සෑදුනි. වෙද මහතා පත්තුව අලුත් කොට උණ අඩුවීමට කසායක් ලියාදුන් අතර ඉන්පසු පෙරුම්කායන් හා සාම්බ්‍රාණී පුසුඹින් මගේ කුටිය පිරී ඉතිරී යන්නට වීය.
වෙද මහතාගේ වේදනා නාශක කසාය ක්‍රියා කරන්නට වූයේ මත්ද්‍රව්‍යක් ආකාරයෙනි. එය මගේ හැඟිම් දැනීම් සියල්ල අඩපණ කල අතර බාහිර ලෝකය හා බැඳීම් බොඳ වූ සිහිනයක් මෙන් දැනෙන්නට වීය. වෙළුම අලුත් කිරීමෙන් පසුව ලොකු මැණිකේ මට කසාය ලබාදුන් අතර ඉන්පසු සිදුවූ සැමදේම මට හුදෙක් මතකයක් පමනක් වැන්න...!
පසුදා පාසලේ සියල්ලෝම විටින් විට මා බැලීමට ආවා මතකය. මා හට උදෑසනින්ම ලැබුනු පුවත නම් ගුණේ කලාප තරඟ වලින් සමත්ව පළාත් තරඟ සඳහා තේරී පත්වී ඇති බවයි. තවද ළමයින්ගෙන් දෙතුන් දෙනෙකුන් හැරුණු විට අනෙක් සියල්ලෝමද පළාත් තරඟ සඳහා තේරී ඇත. නොතේරුනු සියල්ලෝ දෙවන ස්ථාන ලාභීහූ වූහ. ලොකු සර් සවස් භාගයේ පැමින මා හට උණුසුම් සුභපැතුම් පිදුවත් කසායෙන් මත් වී ඇඳට ඔත්පළව වී සිටි මට ඔහු කියූ බොහෝ දේ නොතේරුනේ ය.
ගුණේ පාසැල් අවසන් වූ වේලාවේ සිටම සඳකැන් හා එක්ව වලවු පරිශ්‍රයේ ගැවසෙමින් බෙහෙත් සෙවීමේ සිට මාගේ ඕනෑ එපාකම් සඳහා වෙහෙසී කටයුතු කරන බව මට උක්කුං කීය.
උක්කුං සැමදාම උදෑසනට වෙද මහතාගේ අණ පරිදි තෙල් ගා මගේ පාදය පිරිමදින්නට වූ අතර කැත්ත අමතකව බිම දමා යාම සම්බන්ධව මගෙන් දස දහස් වාරයක් සමාව අයදින්නට වීය. ඔහු කෙරේ මගේ සිතේ කිසිම තරහක් නැති බව මට කතාකිරීමට හැකි තරම් සුව වූ වහාම ඔහුට කීමට මම ඉටාගත්තෙමි.
ලොකු මැණිකේ මගේ නළල තවමින් ද, තෙල් ගා හිස අතගෑමෙන් ද මගේ උණ අඩු කිරීමට උත්සාහ ගන්නට වූ අතර දහවලදී ඈ මගේ ඇඳ අසල වාඩි වී නවගුනවැලක් සමඟ තුන් සූත්‍රය මන්දා ස්වරයෙන් සඩ්ජායනා කරන්නට වීය.
මහ නිළමේ මගේ පුදුමයට හේතු වෙමින් නින්ද මාගේ සුවවීමට ප්‍රධාන හේතුවක් යැයි කියමින් දිවා කාලයේ මාගෙන් සම්පූර්ණයෙන්ම ඈත් වී සිටි අතර, මා උණ සෑදී ඔත්පළව සිටි සතියක් පමන කාලය පුරාවට තේ වේලාවට පමනක් ඔහු මගේ කාමරයේ පොත් මේසය අසලට වී තනිවම තේ බොන ආකාරය මා මඳ සිහියෙන් දුටුවෙමි.
STAI LEGGENDO
අවසන් සඳ
Casualeජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්‍රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්‍රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්‍රේමයේ උතුංග දායාදයන...