"සඳකැන්, මොකෝ පන්තිය මැද්දේ ඈනුම් යන්නේ? මාවත් ඇදිලා යනවා තව පොඩ්ඩෙන්!" ළමයි අතරින් නැගෙන සිනා හඬ මැද්දෙන් මම තෝන්දුමාන්දු වී ගොස් ඇති සඳකැන් ගේ දෑස් දෙස බැලුවෙමි. ඔහු ලැජ්ජාවෙන් බිම බලාගත්තේය.
පාසලේ අවසන් කාලච්ඡේදයේ යනු බොහෝ විට ළමයින්ගෙන් ඈලි මෑලි ගතියක් දක්නට ලැබෙන හෝරාවකි. නමුත් එකොළහ වසරට ඉංග්‍රීසි උගන්න වන විට ලමුන් නිතරම අවධානයෙන් අසා සිටී. කෙසේ වෙතත් සඳකැන් ගෙන් දිස්වූයේ සාමාන්‍ය ඈලි මෑලි ගතියක් නොව. ඔහු දින කිහිපයක සිට දුෂ්කරක්‍රියා කලාක් මෙන් පෙනුමෙන් යුතු වූ අතර සිරුර ශක්තියෙන් හීන බවකින් යුතු විය. එක්වරම මට මතක් වූයේ මිහිරි ය. මා පන්තියේ ළමුන් අතරින් ඈ සොයාගත් විට මට පුදුම හිතුනි. ඇගේ පෙනුම සඳකැන්ටත් වඩා අන්ත වීය. ඈ කෘශව කේඬෑරි වී සිටි අතර දෑස් අවපැහැ ගැන්වී හම තුලට ගිලී තිබුනි!
පාසල අවසාන වී ළමුන් පිටව ගිය පසු මා සඳකැන්ව නවත්වාගත්තේ මේ පිළිබඳව විමසීමට සිතාගෙන ය. ගුරු මේසය අසලට පුටුවක් ඇදගෙන සඳකැන් ට එහි වාඩි වෙන්න යැයි කීවේ ඔහුගෙන් ඕනෑම වේලාවක ක්ලාන්ත විය හැකි ආකාරයේ පෙනුමක් දිස් වූ බැවිනි.
"මොකෝ කොල්ලෝ ඇඟේ හැටි? දැක්කාම බයත් හිතෙනවා!" මම හිටගෙන සිටීම අපහසු බැවින් කිහිලිකරුව පැත්තකින් තබා වාඩි උනෙමි.
"අහ්, එච්චරටම කැත වෙලාද සර්?" තම කැරලි කෙසේ අතරින් ඇඟිලි යවමින් ඔහු මලානික සිනහවකින් පෑවේය.
"විහිලු නෙමේ සඳකැන්" මම අවධාරණය කලෙමි. "මොකක් හරි අසනීපයක් නම් ඉස්කෝලේ එන්නේ නැතුව ඉඳලා විවේක ගන්න ඕනේ හොඳ වෙනකං"
"ඇඟේ අසනීපයක් නෙමේ තියෙන්නේ සර්" ඔහු දෑස් බිමට හරවාගෙන කීවේ ය.
"මිහිරි ගැන මොකක් හරි ප්‍රශ්නයක් ද?"
ඔහු ඊට පිලිතුරක් නොදුන්නත් ඔහුගේ දෑස් වේදනාවෙන් බරවෙන අයුරු මා දිටිමි.
"මට හිතුනා, ඒ ළමයා ඔක්කොටම වඩා ලෙඩ පාටයි! මොකක්ද වෙලා තියෙන්නේ?"
"මිහිරිලාගේ අම්මට හොඳටම අසනීපයි සර්. පොඩි නෑනල දෙන්නයි, මිහිරියි තනියම බලාකියාගන්න බැරිය කියල එයැයිලාගේ තාත්තා එයාලව දාල ගිහිං දැං දවස් පහක් විතර"
YOU ARE READING
අවසන් සඳ
Randomජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්රේමයේ උතුංග දායාදයන...