"අද උඩරටින් තැපෑලක් ආවා" මහ නිළමේ කීවේ බත් පිඟානට රතු අල බෙදා ගන්නා අතරේ ය. මා ඇරෙන්නට රාත්‍රී කෑම මේසයේ සිටි අන් කිසිවෙක් මහ නිළමේගේ නිවේදනය ගණනකට ගත් බවක් නොපෙනුනු නිසා එයට පිළිතුරු දිමට සිදු වූයේ මා හට ය.
"මොනවද ලියලා තියෙන්නේ?" මා ඇසුවෙමි.
"උඩගෙදර පොඩි නිළමෙතුමාට හොඳටෝම අසනීපයි ලු. වල පයයි ගොඩ පයයි වගේ කියලා තිබ්බා" මහ නිළමේ කීය.
"ඉතිං අපිට ලියන්නේ. අපි වෙද්දු වෑ!" ලොකු මැණිකේ මගේ පිඟානට බත් බෙදමින් කීවා ය.
"අපි ගිහිං ලෙඩාගේ සැපදුක් බලලා ආවට කාරි නෑ නේද! මොනා උනත් උඩගෙදර වලවුව අපේ වලවුවත් එක්ක ඒ කාලේ ඉඳලම හොඳ ඇයිහොදැයිකම් පාපු පෙළපතක්" මහ නිළමේ කීවේ ය.
"අපෙ නිළමේ හොද විදිහක් බලන්ඩ. නිළමෙ යනව නම් මමත් යනවා" ලොකු මැණිකේ කීවේ මද අකමැත්තක් තැවරී තිබූ හඬිනි.
"පොඩි මැණිකෙත් අවා නම් තමා හොද!" මහ නිළමේ කීවේ ය.
"අනේ අප්පච්ංචී මට නං කියන්ඩ එපා!" පොඩි මැණිකේ හිතේ ඇතිවූ ත්‍රාසය සමඟ එක් වරම කියා දැම්මේ කෑම මේසයේ දී ඇගේ සුපුරුදු නිහැඩියාව අමතක කරමිනි.
"හා හා! කෑම මේසේ ඕම කෑගානවද ලමිස්සියෝ! අන්තිමයි හැදෙනවා!" මහ නිළමේ මදක් සැරෙන් මෙන් කීවේය.
"දූ යන්ඩ කාරි නෑ අපෙ නිළමෙ. අපි දෙන්නා ගියාම ඇති!" ලොකු මැණිකේ වහා තම දෝණියැන්දාගේ පැත්ත ගනිමින් කීවා ය.
"අපි වෑ උඩගෙදර වලවුවට කරකාර යන්ඩ ඉන්නේ! දෝණි දැං ඉදංම වලවුවේ ඈයෝ එක්ක ඇයිහොදැයිකම් තියාන ඉන්න එක ඇගට ගුණයි!" මහ නිළමේ කීවේය.
පොඩි මැණිකේ එයට විරුද්ධව යමක් කීමට සැරසුනත් ඈ නිහඬවම රවාගත් මුහුනින් කෑම පිඟානට ඇඟිල්ලෙන් අනින්නට වීය.
"හෙට පොඩි ඉස්කෝලේ මහත්තයා ගෙදර එන වෙලාවට අපි පිටත් වෙමු. එතෝට පොඩි කොළුවට තනි නෑ නේ. රෑ උඩගෙදර වලවුවේ නවාතැං අරං පහුදායින් උදේ එමු.දවාල වෙන්ඩ කලින් එතෑකි එතකොට" මහ නිළමේ කන අතරේ විස්තර කරන්නට වීය.
"උක්කුං අද රෑට කැවිලි ටිකක් උයලා තියන්ඩ ගෙනියන්න" ලොකු මැණිකේ නොසතුටු මුහුනින් කෑම මේසයේ දොර ගාව සිටගෙන සිටි උක්කුංට කීවේය.
YOU ARE READING
අවසන් සඳ
Randomජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්රේමයේ උතුංග දායාදයන...