අඳුරු කුටිය ආලෝකමත් වුණු එකම එළිය ලැප්ටොප් පරිගණකයෙහි තිරයෙහි දිස්නය පමණි. ඒ ඉදිරියේ වූ චිත්රූගේ වත පැහැදිලි නො වූව ද එහි වූ රත් පැහැය මඟ නො හැරෙයි. මධ්‍යම රාත්‍රිය පසුව විනාඩි විස්සක් පමණ ඇති ය. මුළු කාමරයේම විදුලි පහන් නිවා දමා ඇත. චිත්රූ සිටියේ චිත්‍රපටයක් නරඹමිනි. වත හැඩ කළ රත් පැහැයට හේතු වූයේ එහි වූ රෝමාන්තික දසුන කි. යුවතිය සිටියේ ඇකිළෙන නිදිකුම්බා මලක් මෙනි ය. එපමණ ලැජ්ජාවකින් ඇය පුරවාලන්නට චිත්‍රපට දසුනකට පවා ඇති හැකියාව පුදුම ය. රෝමාන්තික වචනය පවා ඇයට එතරම් නුහුරු ය. පරිගණකයට සම්බන්ධ කළ කන් බණු (earphones) නිසාම රෝමාන්තික සුසුම් වැල් යුවතියගේ සවනතට පමණක් සීමා වෙද්දී, ඇගේ මේ අධි සංවේදීතාවයට එයත් රුකුල් වන්නට ඇති ය.
ඒ මෑත කාලයේ එළි දැක්වූ ආෆ්ටර් ඉංග්‍රීසි චිත්‍රපටය යි. සිය මවගේ බසට අවනතව හැදී වඩෙනා තෙරේසා විශ්ව විද්‍යාලය තුළදී හමුවනා හාර්ඩින් නිසාවෙන් ජීවිතයේ ඇයට මෙතක් ස්පර්ශ නොවූ මානයකට ඈ ඇවිද යයි. චිත්රූ එය දුටුවේ වාසනාවක් සේ ය. හාර්ඩින් විසින් තෙරේසාට හඳුන්වා දුන් දිවියට සිත්තරාවිය ඇලී ගියේ ක්ෂණිකව ය. තෙරේසාගේ කලින් පෙම්වතා පිළිබඳව දුකක් මෝදු වුණ ද යුවතිය සිටියේ එය ද සාධාරණීකරණය කරනා මට්ටමක ය. ඈ නිදහස යන වචනය අයුතු ලෙසින් භාවිතා කරනවා දැයි විටෙක සිතෙයි. ඊට ඇගේ මානසික මට්ටම සෘජුවම බලපානා බවට සැකයක් නැති ය. ඈ යකඩ පොලු වලින් දීප්තිමත් අහස දෙස බලා හූල්ලනා සිරකාරියකට දෙවෙනි නැති ය. ඒ තරුණ මනස වට කොට මහසෙන් මඩහාපොල විසින් සිටවා ඇති පොලු ඊටත් වඩා ප්‍රබල යැයි විවාද කිරීම ද අසාධාරණ නැති ය. ඉදින් එවන් ඈ, මනඃකල්පිත නිර්මාණයක් වුව කිරා මැන බලන්නේ ඇගේ දිවියට අනුකූලව ය. දැන් සිදු වන්නේ ද එවන් සංසිද්ධිය කි.
නළු නිළි දෙපළ කෙතරම් සාර්ථක ද කියතොත් හාර්ඩින් සහ තෙරේසා අතර වූ රෝමාන්තික සංයෝජනය යුවතිවය කුල්මත් කර තිබුණි. පොරවනය ද මුවට ලං කරගනිමින් දර්ශනය රස විඳිනා ඇගේ හැසිරීම නව යොවුන් වියේ පසුවන යුවතියක් මෙනි ය. ඈ තවමත් සිය කුළුදුල් ආදර සම්බන්ධතාවය ඉඳුල් කර නැත. ඉදින් පෙම්වතෙකුගේ තුරුලේ කෙසේවත් නැළවී නැති ය. දෙතොල් දඟ කරමින් ගිලෙනා හාදුවක අසිරිය ගැන ඈට ඇත්තේ කුතුහලයකි. එකී ආස්වාදය විඳ ගැන්මට ඇගේ ඇතුළාන්තය නො ඉවසිලිමත් වුවත් ඈ ඉවසීම හා දරාගැන්ම හොඳින්ම ප්‍රගුණ කළ යුවතිය කි. නමුත් මෙවන් දෘෂ්‍ය නිර්මාණය හමුවේ එකී සීමා සියල්ල සුණු විසුනුව යන්නේ තුරුණු හැඟීම්වල ප්‍රබලත්වය නිසාම ය. හාර්ඩින්ගේ අතැඟිලි වල ස්පර්ශය දරන්නට තෙරේසාගේ ආත්මය පෙරළි කළ ආකාරය ඈ ඇදහුවා ය. ඈ සිටියේ තෙරේසා යන්ග් තුලින් චිත්රූ උමයංගනා මඩහාපොල නම් තරුණියව දකිමිනි.
![](https://img.wattpad.com/cover/344998604-288-k70187.jpg)
YOU ARE READING
වත්සුණු || Wathsunu
General Fictionඇය නිරුවතත් කලා ඇසකින් දකින සිත්තරාවියක්... ඔහු අසීරුම තැනදිත් සැහැල්ලුවම සොයන මං සරන්නෙක්... #contemporaryfiction #sinhalanovel #mturethemes #romance