සතිෂ්ක පැමිණියේ ඔහුගේ මෝටර් රථයෙනි. ගමන දිගු විය. ඉදින්, විඩාබර වනවා නිසැකය. එනිසාවෙන් තමාගේත් චිත්රූගේත් පහසුව සඳහා ඔහු මෝටර් රථය ඊට ලෑස්ති කරගත්තේ ය. එය සතියේ දිනයක් වූ හේතුවෙන් ධනුද්දර නිවසේ නො රැඳුනත් ප්‍රභාත් සහ හසිතා, චිත්රූ වෙනුවෙන්ම නිවසෙහි රැඳුණහ. එය නම් ආත්මගත බැඳීමක් වන්නට ඇති ය. සිය දියණියට මෙන් ඇයට ඔවුන්ගේ සැලකිල්ල විටෙක පුදුමාකාර ය.
සුදු පැහැ මයික්‍රො පැන්ඩා කාරය නිවසෙහි ගේට්ටු තුළින් ඇතුළු වෙද්දීම චිත්රූ පෙරමඟට දිව ගියේ කාලයකින් හමුවන සිය මිත්‍රයා දැක ගැනීමේ ආශාවෙනි. ඒ නිසාවෙන් ටිකෙන් ටික කාරය මිදුලට ඇතුළු කරමින් සිටි සතිෂ්කට වෙනස් වූ විලාසිතාව ඇස ගැටෙන්න වැඩි කාලයක් ගියෙ නෑ. ඔවුන්ගේ මිතු දමට අවුරුදු ගණනක් වයස ය. ඒ කාලය පුරාවටම ඔහු චිත්රූව දුටුවෙ දිගු ගවොම් නැතිනම් සායවල් වලින් පමණි. තද නිල් පැහැ ඩෙනිම් වර්ගයේ කලිසමකින් ඇයව මවාගන්නට ඔහු උත්සහා කර ඇත. නමුත් ඒ උත්සහයන් යථාර්ථයට බොහෝ දුර විය. ඇගේ වතෙහි සුන්දරත්වය සඟවන්නට ගවොම් රෙද්දට නොහැකි වුණත් ඒ නාරි දේහය මෙතරම් කළක් නන්නාදුනන තාලෙට සැඟව සිට ඇතැයි සතිෂ්කට සිතුනේ ය. පළල් උකුලත්, පිරුණු කළවත් නිසා ඇයට ලැබී තිබුණේ හැඩැති සිරුරකි. උස මහත සීරුවට ගැළපී ගිය කළ චිත්රූ ආකර්ෂණීය යුවතියක් වූවා ය. තත්පර කිහිපයක් දෑස් වලට යටත් වී සිටීමට සතිෂ්ක කැමැත්තෙන්ම එකඟ විය. මූර්ති අතරම ජීවත් වන ඔහුට ගැහැණු ශරීරය, ඒ ලතාව, ඒ සුන්දරම රේඛා ගොන්න අමුත්තක් වූයේ නැත. කලාවේ ආශිර්වාද ලත් ඔහු දුටුවේ විනීත සුන්දරත්වයක් පමණකි. සිය මිතුරිය වෙතද ඔහුට වූයේ එවන් හැඟීමකිනි.
කාරයෙන් බැසගත් සැනින් හස්ත සංඥාවකින්ම ඔහු සිය මිතුරියව වර්ණනා කළේය. එසේ කළ යුතුමය. ඒ වර්ණනාව සිය පෙනුමට වඩා ඒ වෙනුවෙන් තමන් ගත් තීරණයට බැව් චිත්රූ සිතුවා ය. මන්දයත් ඇය ඇයට ලකුණු දී තිබුණේ ඒ වෙනුවෙන් ය. නමුත් සතිෂ්කගේ දෑසට ඇය අවිවාදයෙන්ම රූමත් විය. ඇසට ප්‍රිය විය.
"සුදු වෙලාදත් මන්දා"
කලකින් දුටු රුව චිත්රූ අතින් සරදමට බරව විස්තරව ගියේ එලෙසිනි.
VOUS LISEZ
වත්සුණු || Wathsunu
Fiction généraleඇය නිරුවතත් කලා ඇසකින් දකින සිත්තරාවියක්... ඔහු අසීරුම තැනදිත් සැහැල්ලුවම සොයන මං සරන්නෙක්... #contemporaryfiction #sinhalanovel #mturethemes #romance