විසල් කණ්ණාඩියෙන් පෙනෙනා තම ප්රතිබිම්භය දෙස චිත්රූ බලා සිටියා ය. වැලමිට තෙක් දිගු අත් සහිත සුදු පැහැ කමිසය, ඊටම කැපෙන කොළ පැහැ දිගු සාය එකට ගත් කළ ආකර්ණීය ය. එය සුන්දර විලාසිතාවකි. කොණ්ඩය සම්පූර්ණයෙන්ම නිදහස් කර සුදු පැහැ අඩි උස සෙරප්පු පැළදි පසු යුවතියගෙන් දිස් වූයේ සෞම්ය සුන්දරත්වයකි. සීමා අතර හෝ සතුටු වන්නට ක්රම ඈ උගෙන සිටියා ය. තම ප්රතිබිම්භයට සිහින් සිනහවක් පෑ යුවතිය කාමරයෙන් පිටතට අඩි තැබුවේ සාම සාකච්ඡාවකට යන්නා සේ ය.
දැනටම උදෑසන ආහාර වේල විසල් කෑම මේසය මත දුම් දමමිනි. චිත්රූ පැමිණ තත්පරයක් ගත වීමට මත්තෙන් මහසෙන් ද බිරිඳ සමඟින් කෑම මේසයට පැමිණියේ ය. තමන් ඉස්සර කළ ඒ තප්පර අරික් කාලටත් චිත්රූ ස්තූතියි කළා ය. සම්ප්රදායට අනුව චිත්රූ පියා වාඩි වන තුරු බලා සිටියා ය. ඉන් පසු චිත්රූ වාඩි ගත්තා ය. කෙතරම් හදිසි රාජකාරියක් තිබුණ ද මඩහාපොල වලව්වේ මේ පිළිවෙල වෙනස් නො වීම එක අතකට පුදුම ය. මව් පියාට ආහාර බෙදන අයුරු චිත්රූ බලා සිටියා ය. මෙතරම් යටහත් පහත්කමක් ගැහැණියකට ආරූඪ වන්නේ ස්වභාවයෙන්ම දැයි ඈ ප්රශ්ණ කළා ය. තම සැමියා වුව ද පිරිමියෙක් ඉදිරියේ සිය ආත්මය තමන් විසින්ම පාගා ගෙන සිටීම චිත්රූට දැන් දැන් විහිළු සහගත විය. කුඩා කාලයේ නම් ඈ සිතුවේම ගැහැණිය යනු එවැනි වහලියක් ලෙස ය. ඈ විටෙක ගැහැණියක් වීම පවක් යැයි සිතුවා ය. නමුත් වත්මන් සිත්තරාවිය කාලයත් සමඟ වෙනස් වී සිටියා ය. නමුත් එයත් සීමා සහිත වීම අවාසනාවකි.
සියල්ල පරයමින් එක්වරම නාද වුණු දුරකථනය චිත්රූගේ ය. ඇය ගැස්සී ගියේ පියවි ලෝකයට ඇඳ වැටුණු නිසා නොව, තම පියාගේ එකට යා වුණු ඇහිබැම් දැක ය. කෑම මේසයේ අනෙක් පුටුවෙහි තිබූ බෑගය වෙත අත පොවන්න ද ඈ මැලි වූවා ය.
"ක..කවිසිගමුව මැඩම් කතා කරනවා කිව්වා අප්පච්චි"
ඒ රැවුම් ගෙරවුම් වලින් බේරීමට ඇති එකම තුරුම්පුව නොපමාව විසි කරන්නට චිත්රූ කටයුතු කළා ය. එහි මුසාවක්ද නො මැති ය. ඇය අධ්යාපනය හැදෑරූ කලායතනයේ විදුහල්පතිනිය වූ හසිතා කවිසිගමුව යනු මහසෙන් මඩහාපොල ගෞරව කරනා චරිතයකි. එය නොකර බැරි කමට කරනා ගෞරවයක් ද වග චිත්රූට තවමත් අපැහැදිලි ය. නමුත් කවිසිගමුව යන නාමයට පවා තමාට නො මැති බලයක් මේ වලව්ව තුළ තිබිණි. ඈ ඉන් වරින් වර ප්රයෝජන ගත්තා ය.
YOU ARE READING
වත්සුණු || Wathsunu
General Fictionඇය නිරුවතත් කලා ඇසකින් දකින සිත්තරාවියක්... ඔහු අසීරුම තැනදිත් සැහැල්ලුවම සොයන මං සරන්නෙක්... #contemporaryfiction #sinhalanovel #mturethemes #romance