අඳුරු අහසකි. හඬන්නට අර අදින යාමයකි. වරින් වර විදුලි එළි මහා අදෝනාවක් සමඟ ඇතිව නැතිව යන්නේ අනතුරු අඟවන්නට ය. මඩහාපොල වලව්ව ගාම්භීරව විසල් වත්ත මධ්යයේ සිටගෙන සිටියේ ය. එහි එක් අඳුරු කොරිඩෝවක යම් අයෙක් අඩි තබමිනි. කෙලවරක එක් කාමරයකි. ද්වාරය වසා ඇත. නැත, අඩවල් කර ඇත. අඩි තබන්නාට එය පසු කර යන විට ඒ දෙස බැලුනේ ඉබේට ය. කිසිඳු විශේෂ සිතිවිල්ලක් ඒ පිටුපස නො වුනේ ය. නමුත් දෑස් විසල්ව ගියේ අනපේක්ෂිත දසුන ඉදිරියේ ය.
නිදන කාමරය මැද යුවතියකි. දෙපා පොළොවෙ මත නොව ඉන් ඉහළ එල්ලෙමිනි. ගෙල මත ඌ තොණ්ඩුව සිර වී ගොස් බොහෝ වේලාවක් ගොස් තිබිණි. අඩි තබන්නා සිටියේ ඒ වෙත දුවමිනි. දැනටමත් දරදඬුව ගිය දෙපා වලින් ඇයව ඔසවාගෙන එකී පුද්ගලයා මරලතෝනියක් පිට කළේ ය. එලෙස පිට වූයේ ඇගේ නාමයයි.
අකුණක මහ හඬත් සමඟ මුසු වී මැකී ගිය ස්වප්නයෙන් අවදි ගත් තැනැත්තාගේ අතීතය දරුණු ලෙස පරවා තිබිණි. සුදු රෙදි දැමූ එක් සයනයක් මතට දහඩිය බිඳු දෙක තුන පතිත වූයේ කම්පිතව ය. එක හුස්මට හිස් වූ වතුර වීදුරුව බිම නො වැටී බේරුනේ අනූ නමයෙනි. නමුත් තවමත් කබඩය කෙළවරක අඩමානයට තැබූ ඒ වීදුරුව ඉන්නෙ ගැඹුරු හෙළ දෙස බලාගෙන වෙව්ලමිනි. රැයෙහි සිහින පවා කුරිරුව ඇත.
එලෙසින්ම කොලොම්පුර සිත්තර නිවසෙහි ද වතුර වීදුරු එකක් නොව දෙක තුනක්ම හිස්ව යන්නේ මේ රැයේදීම ය. ඉදින් ඇය සුවපත් වී නො තිබිණි. ඇතැම් විට කහා පැහැ ලියුම් කවර ද්විත්වය ඇයට සුව වන්නට ඉඩ නො දෙනවා විය හැක. සයනය මත හිඳ පාද නවා දණිස් පොල්කටු මත නිකට තබා ගත් ඇගේ ඉරියව්ව පා පහරක් ලද හැකරැල්ලෙකු මෙනි ය. ඉදින් පා පන්දු ක්රීඩකයා මහසෙන් මඩහාපොල බවට සැක නැත. ඇති වූ කම්පිතය මඳක් හෝ සන්සුන් කරන්නට හැකි වූයේ මිහිදුම් විසින් කියාදුන් සමනල වැළඳගැනීමට (Butterfly Hug) පමණි. නමුත් එය වුවත් සම්පූර්ණ කැළඹීම යටපත් කිරීමට තරම් බල සම්පන්න නො වූයේ ය. විවාහය නම් කොයි කාගේත් ජීවිතයේ වැදගත්ම සංධිස්ථානයකි. චිත්රූට එය මරණය සහ ජීවිතය වෙත වූ දෙමංසලකි. මඩහාපොලගෙන් මිදී තවත් සිරමැදිරියකට යන්නට සිදු වේවී යන බියෙන් ඈ ඔත්පලව සිටියා ය. එනිසාම ඇයට වූ අවසාන තුරුම්පුව වෙත ද ඇය යොමු වූවා ය. බොහෝ කලෙකින් පය නො තැබූ ගොඩනැගිල්ලක් වෙත ඇය යන්නට සැරසුණා ය.
YOU ARE READING
වත්සුණු || Wathsunu
General Fictionඇය නිරුවතත් කලා ඇසකින් දකින සිත්තරාවියක්... ඔහු අසීරුම තැනදිත් සැහැල්ලුවම සොයන මං සරන්නෙක්... #contemporaryfiction #sinhalanovel #mturethemes #romance