නැවත කබානා සංකීර්ණයට වෙත වූ කෙටි ගමන බොහෝ නිහඬ විය. දෙදෙනාම කතාබහකට උනන්දු නොවීය. චිත්රූ නම් ඇගේ සිත් ගත් ගුරු පාර දෙපස සුන්දරත්වය විදින්නට වූවා ය. මිහිදුම් ඔහුගේ පාඩුවේ යතුරු පැදිය ඉදිරියට ගෙන ගියේ ය. මේ අපූරු යුගලය අතර වරින් වර ඇති වන නිහැඬියාව බොහෝ සෙයින් මිත්‍රශීලී ය; අපූරු ය. ඉන් අපහසුතාවක් නො දැනුන අයුරු චිත්රූගේ ද සිත් ගත්තකි.
ඔවුහු නැවත කබානා ද්විත්වය වෙත ළඟා වන විට මිතුරන් සියල්ල රැඳුනේ ඔවුන් වෙනුවෙන් මඟ බලාගෙන ය. වෙන වෙනම ගිය දෙදෙනා යතුරු පැදියේ නැගී පැමිණීම දෙස සතිෂ්ක බලා සිටියේ විමතියෙනි. ඔහු චිත්රූ ගැන හොඳින් දනියි. ඇයට යතුරු පැදිය කෙතරම් ආගන්තුක ද යන්නත් ඔහු හොඳ හැටි දනියි. එකල කලායතනයේ ප්‍රදර්ශන සමයන් වලදීවත් චිත්රූව සිය යතුරු පැදියේ වටයක් රැගෙන යාමට නො හැකි වූයේ ඇගේ දැඩි විරෝධය හේතුවෙනි. කුරුණෑගල අහස යට සිතූ සිතූ දෑ කිරීමට ඇයට වූ බිය නිසාවෙනි. නමුත් අද තත්වය වෙනස්ව ගොසිනි. ආගන්තුක ප්‍රදේශයක, ආගන්තුක පිරිමියෙකුගේ යතුරු පැදියකට නගින්නට පවා ඇයට නිදහස ලැබී තිබිණි. ඊටත් වඩා සතිෂ්ක පුදුම වූයේ සිය මිතුරිය නිදහස අරභයා දැක්වූ වෙනස් වෙනස් හැසිරීම් ය. නමුත් ඔහු නිහඬ වූයේ තැන නොතැන නොබලා ප්‍රශ්ණ විමසීම ඔහුගේ ස්වභාවය නොවුණ හෙයිනි.
මිතුරු කවයට නම් එය කොහෙත්ම ප්‍රශ්ණයක් නොවූ හැඩ ය. ඔවුහු සාමාන්‍ය අයුරින්ම පසු වූයේ තරුණියක් තවත් තරුණියකගේ යතුරු පැදියක නැගී යාම ඔවුනට අරුම පුදුමයක් නොවූ හෙයිනි. අනෙක් අතට මිහිදුම් ගත් කළ, ඔහු නම් සියල්ල සැහැල්ලුවෙන් දුටු අයෙකි. ඇරත් ඔවුන්ට චිත්රූ මඩහාපොලගේ ඇතුළාන්තය තවමත් ඉබි යතුරු දැමූ අභිරහස් පුස්තකයකි.
ගැසේබෝව අසල ආගන්තුක රුවක් විය. චිත්රූගේ දෑස් පැටලී ගියේ ඒ රුව මත ය. කැතරින් සමඟ කතා බහක වූ ඔහු, යතුරු පැදියේ ආගමනයත් සමඟ සිත්තරාවිය වෙත අවධානය යොමු කළේ ය. ඇගේ අවධානය ද ඔහු මතම වූයේන් මිහිදුම්ගේ උරහිසට දෑත තබා යතුරු පැදියෙන් බැසීම නිරායාසයෙන් සිදුව ගියේ ය.
"අන්න උඹෙ මැණිකව ගෙනාවා මන්"
ආගන්තුකයා පැවසුවේ මිහිදුම්ට ය.
YOU ARE READING
වත්සුණු || Wathsunu
General Fictionඇය නිරුවතත් කලා ඇසකින් දකින සිත්තරාවියක්... ඔහු අසීරුම තැනදිත් සැහැල්ලුවම සොයන මං සරන්නෙක්... #contemporaryfiction #sinhalanovel #mturethemes #romance