4 කොටස

155 13 0
                                    

කැබ් රථයෙන් බැස ගත් චිත්රූ තමා වෙත යොමු වූ දැඩි බැල්මන් නො දැක්කා සේ ය. මන්දයත් තමාව පොඩි කර චප්පා කර දැමීමට තරම් බලයක් එහි වන වග ඈ දනී. ගමන් බෑගය ද දෝතට ගත් ඈ විසල් වලව් මන්දිරයේ මුල් පඬි කිහිපය නැග ගත්තේ සෙමිනි. එතැනින් අතුරුදන් වී තම කාමරයෙන් මතු වීමට අවැසි වුව ද එය ෆැන්ටසි සිහිනයක් බව තරුණිය අත්දැකීමෙන් දැන උන්නා ය.

"අප්පච්චි"

ඒ ඉතාලියේ සිට ලංකාවේ සිය නිවසට තම ආගමනය දැනුම් දීම යි. කුඩා කල සිටම අවනත වූ නීතියක් වුව තවමත් තමාට මෙය නුහුරු ඇයි දැයි ඇයට ගැටලුවකි. තම පියා ඉදිරියේම උසාවි කූඩුවකට නැගි සාක්ෂිකරුවෙක් සේ ඇය සිටගෙන සිටියා ය. නඩුකාරයා තීන්දුව දීමට ප්‍රමාද වන සෑම තත්පරයකම වැඩි වූයේ ඇගේ හෘද ස්පන්දනය යි. වලව්ව ඉදිරියේ වූ පැරණි හාන්සි පුටුව, නිහඬවම සියල්ල අසා දරා හිදින හාන්සි පුටුව මතට වී කොදු නාරටිය සීරුවෙන් කෙළින් කරගෙන සිටිනා මහසෙන් මඩහාපොල සිය දියණිය වෙත යොමා සිටි බැල්ම මඳකුදු අඩු නොකළේ ය. ඔහු අසලම සීරුවෙන් නැතත් සීරුවෙන් සිටගෙන වූයේ සේමිණී රද්දෙගොඩ මඩහාපොල කුමාරි හාමියයි.

"කොහොමද අයාන්ට?"

"හොඳයි අප්පච්චි. පුතා දැන් මොන්ටිසෝරි යනවා"

තම පියාගේ මුවෙහි මතුවන ආඩම්බරකාර සිනහව දෙස චිත්රූ බැලුවේ හොරැහිනි. තමා වෙනුවෙන් කවදාක හෝ එවන් සිනහවක් ඒ මුහුණේ ඉපිද ඇති දැයි ඇය මතක් කළා ය. නිකරුණේ මතක පොත මහන්සි කළ යුවතිය සුසුමක් අත හැරියේ ද රහසේම ය.

"අයියලා?"

"දෙන්නම හොඳින් අප්පච්චි. අයියා මෙහෙ එන කතාවක් කිව්වා ලබන මාසෙ විතර"

පියා මව දෙස බලනු චිත්රූ දුටුවා ය. එයත් හොර රහසේ ය. පියා කරන කියනා දෑ දෙස ඈ අවසන් වරට සෘජුව නරඹා ඇත්තේ අත දරුවා කාලයේ විය යුතු ය. මව් ඒ ගාම්භීර මුහුණේ ඉඟිය වටහා ගත් සෙයකි.

"මම ඒවා බලා ගන්නම් මහත්තයා"

හතරට පහට නැවී මව් පවසයි. ඈත අතීතයේ රජු ඉදිරියේ වහලුන් සිටින්නට ඇත්තේ ද මෙලෙසින් වන්නට ඇති යැයි චිත්රූ සිතුවා ය. කොහොමටත් රාජාණ්ඩු පාලන ක්‍රමය තවමත් ක්‍රියාත්මක නිවසක ජීවත් වන තරුණියට මේවා අමුතු දසුන් නොවුණි.

වත්සුණු || WathsunuDonde viven las historias. Descúbrelo ahora