සහෘදයා සමීපයේ කලාව හදාරන සමයේ එක් මැයි මාසයක දී ඇයට ඔහුගෙන් උපන්දින ත්‍යාගයක් ලැබිණි. නෙළුම් මූලයන් කිහිපයක් පින්සල් රඳවන ලෙස මැටියෙන් තනා එහි අලංකාරය උදෙසා සුන්දර නෙළුම් මල් කිහිපයක් මූර්තනය කර තිබූ අයුරු බොහෝ සෙයින් ආකර්ෂණීය විය. සිත් ගන්නා සුළු විය. අලංකාර විය. ඇය මෙන්ම ඔහුගේ හැකියාව බොහෝ දෙනාගේ වර්ණනාවට ලක් විය. බාලසූරිය පවුලේ පොඩි පුතු ඉන් එක් අයෙකි.
එකල කලායතනයේ සිටි මිතුරියන් චිත්රූ උමයංගනා මඩහාපොලව දුටුවේ රිදී හැන්දක් කටින් ගෙන ඉපදුණු එකියක ලෙස ය. ඔවුන්ට ඇගේ සිර කුටියේ යදම් පොලුද රිදියෙන් තැනූ ඒවා ලෙස පෙනී තිබිණි. චිත්රූට මිතුරියක හා සමීප වන්නට නො හැකි වූයේ එනිසාවෙනි. ඉදින්, වෙනසක් ගෙන ආවේ සතිෂ්ක ය. සිතුම් පැතුම් පමණක් නොව, ඔහු ඇය දෙස බැලූ කෝණය ද අන් අයගෙන් වෙනස් විය. මිතුදම ආරම්භ වූයේ එලෙස ය. උපන්දින ත්‍යාග හුවමාරු වූයේ එතැන ය. ඔහුගෙන් ලද ත්‍යාගයන් ඉදින් ඇයට බොහෝ වටින්නේ ය. මිතුරෙකුගෙන් ලද මංගල ත්‍යාගය වන පෙර කී පින්සල් රඳවනය එම ලැයිස්තුවේ පළමු වැන්නාව තිබූවකි. ඇය පොළොවේ ගසා කැබලි කර තිබුණේ ද එයම ය.
පෝසීලේන් මැටි කැබලි කිහිපය ඇය එකතු කරගෙන තිබුණා ය. මේ මොහොතේ ඈ හැඟීම් විරහිත බැල්මෙන් එදෙස බලා සිටියා ය. එය පොළොවේ දමා ගැසූ බවක් යුවතියට මකකයේ නැත. බිමට වැටී කෑලි වන අයුරු ඇගේ මතකයේ නැත. එතරම් අසිහියෙන් හැසිරීමට ඈ පෙළඹුනේ ඇයි දැයි ඇය කල්පනා කරමින් සිටින්නී ය.
මිහිදුම්ගේ හෙළිදරව්ව මනසට එතරම් භයංකර ප්‍රහාරයක් වූයේ කෙසේද. ප්‍රේමය පසෙක තබා ශාරීරික සම්බන්ධතා ඇති කර ගැන්ම ඇයට මහා අමුතු අදහාගත නොහැකි යමක් නොවිණි. ඈ විවිධ මානයන්හි මනස හසුරුවන සිත්තරාවියකි. නව තාක්ෂණය සමඟ ගනුදෙනු කරන්නියකි. අන්තර්ජාලය, සමාජ මාධ්‍ය ජාල වලට පිවිසුම් ඇත්තියකි. ඉදින්, ඔවැනි මාතෘකා ඇයට අරුම පුදුම නොවිණි. නමුදු මිහිදුම්ගෙන් එවැන්නක් ඇය බලාපොරොත්තු නො වුණා විය හැක. එනිසා ඇයට ඔහු පැවසූ සියල්ලම කඨෝර ලෙස දැනෙන්නට ඇති ය. බීච් පර්ල්හි හමුවෙන් පසු ඔවුහු අතර කිසිඳු පණිවිඩයක් හුවමාරු නොවිණි. දුරකථන ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් හෝ හුවමාරු නොවිණි. දෙපාර්ශවයම නිහඬව ගියහ.
KAMU SEDANG MEMBACA
වත්සුණු || Wathsunu
Fiksi Umumඇය නිරුවතත් කලා ඇසකින් දකින සිත්තරාවියක්... ඔහු අසීරුම තැනදිත් සැහැල්ලුවම සොයන මං සරන්නෙක්... #contemporaryfiction #sinhalanovel #mturethemes #romance