16 කොටස

120 11 0
                                    

එය ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පය ආභාෂය කරගෙන නිමවූ නවීන පන්නයේ නිවසකි. එහි සිවිලිම එතරම් උස නොවීය. ආරුක්කු හැඩයට නිමවා තිබූ ජනේලයකින් උදෑසන හිරු කිරණ නිවස තුළට කාන්දු වෙමින් තිබිණ. ඒ නිවසෙහි කෑම කාමරය විය. ඊට පසෙකින් ආරුක්කු හැඩැතිම වූ විවෘත බිත්තියකින් එහා පස මුළුතැන්ගෙය විය. එහි තරුණියක් ආහාර පිසිමින් සිටියා ය. ඇය නමින් මධූකා ශිරෝමනී දුනුවිලයි. කුරුණෑගල මඩහාපොල වලව්වට සෙංකඩගල නුවර දුනුවිල වලව්වෙන් කැන්දා පැමිණි ලේලියයි. චිරංග මනෝහර මඩහාපොලගේ ආදරණීය බිරිඳ යි.

ටෝස්ට් කරන ලද පාන්, බටර්, ජෑම්, තිරිඟු පිටිවලින් සෑදූ උදෑසනට ඉතාලියේ නොවරදින croissants* (ක්‍රොයිසන්ට්ස්), තවත් ඉතාලියේ උපත ලද crostata* (ක්‍රොස්තාතා) බඳුනක් මෙන්ම උණු උණු කෝපි පානයක් ද පිරි උදෑසන කෑම මේසයක් ඉදිරියේ චිරංග වාඩිගෙන සිටියේ ය. එය මඩහාපොල වලව්වේ ආහාර මේසයකට වඩා බෙහෙවින් වෙනස් ය. චිරංගටවත් චිත්රූටවත් ඔවුහු ප්‍රිය අහරක් කියා උයවා ගන්නට ලැබුනේ කලාතුරකිනි. සියල්ල කාල සටහනකට, ප්‍රමිතියකට අනුව සිදු වන නිවසක ඊට වඩා යමක් බලාපොරොත්තු වීමට ද නොහැකි ය.

මධූකාට කලින්ම පවසා සූදානම් කරගත් ආහාර වේලට චිරංග වග කියන්නට ගත්තේ රැකියාවට පිටත්ව යන්නට ප්‍රථමව ය. කළමනාකරණ උපදේශක තනතුරක සේවය කළ ඔහු ඉතාලියේ පදිංචිය අරඹා දැනට වසර නවයකට ආසන්නය. සරලවම, ඔහු නිදහස ලබා වසර නවයක් ගතව ගොස් ය. බිරිඳත් සිය පුතණුවනුත් සමඟ ඔහු සාමකාමී දිවියක් ගත කරමින් සිටියේ ය. වරින් වර ඒ සාමකාමීත්වය පළුදු කරන්නට වූයේ අවුරුදු විසි හයක් තිස්සේ තවමත් රිදුම් දෙන එක් තුවාලයක් පමණි.

නිදහසේ ගත් උදෑසන ආහාරයට බාධා වූයේ චිරංග වෙනුවෙන් නාද වූ දුරකථන ඇමතුමක් නිසාවෙනි. ඇමතුමෙහි අයිතිකරු දැක තරුණයාට සුසුමක් අත් හැරිණි.

"කියන්න අම්මා"

විවෘත මුළුතැන්ගෙයි හිඳි මධූකා ද හැරී බැලුවේ චිරංග දෙස ය. උදෑසනම ගිනි ගෙඩියක්දෝ යි ඇයට සිතෙන්නට විය.

"නංගි ඔයාට කතා කළාද?"

සේමිණී රද්දෙගොඩගේ හඬ වූයේ නො සන්සුන්ව ය. එය හඳුනාගත් චිරංගට අකමැත්තෙන් වුව ද නීරස කතාබහකට සූදානම් වීමට සිදු විය. ඇමතුමට සම්බන්ධ වූ මෝඩකම යැයි ඔහු ඔහුටම දොස් පවරා ගත්තේ ය.

වත්සුණු || WathsunuWo Geschichten leben. Entdecke jetzt