ගිටාර් තතක් අමිහිරි ලෙසින් ශබ්ද වී ගියේ මිහිදුම්ගේ ඇඟිලි තුඩුවලින් හදිසියේ ගිලිහී ගිය නිසා විය යුතු ය. පසෙක සිටි සහේල් සහ කැතරින් පවා මිතුරා දෙස ඕනෑකමින් බැලුවේ තවත් තත්පර කිහිපයකින් ඔවුන් ඉදිරියේ වූ සජානා දෙසට තරවටු බැල්මක් හෙලමිනි. චිත්රූත් සමඟ ඇගේ කතා බහත්, කොළඹ ප්රදේශයේ ගත කිරීමට සැලසුම් කර ඇති දින කිහිපය පිළිබඳවත් ඈ මිහිදුම්ට පැවසුවේ දැන් ය. ඔහුව කැඳවාගෙන එන්න යැයි චිත්රූ පැවසුවේ ඇගේ කටටම සජානා උත්තරය ලබා දී කියවා ගත් නිසා යැයි වැටහෙද්දී මිහිදුම් වූයේ නොරිස්සුමිනි. නමුත් දඟකාරිය ඊට මෙල්ල නොවූ හැඩය. ඇය තවමත් පිළිතුරක් අපේක්ෂාවෙන් මිහිදුම් දෙස බලා සිටියා ය.
"මට උඹව පේන්නෙ කොහොමද දන්නවාද?"
ඈ වූයේ උද්යෝගයෙනි. මිහිදුම් ඒ මතට ප්රශ්නාර්ථයක් අත හැරියේ ය. පිනි බිඳුවකට ඇඟිල්ලෙන් පහරක් ගැසුවාක් සේ සජානා හිඳ සිටි ඉරියව්ව පවා වෙනස් කළා ය.
"කොහොමද?"
"මස් කෑල්ලක් දිහා බලන් ඉන්න ගිජු ලිහිණියෙක් වගේ"
තත්පර දෙක තුනක් ගතව ගියේ සහේල්ගේ මුවින් පිට වූ සිනහාවත්, සජානාගේ දෑස් සිහින්ව, නළලත රැළි වැටීම සඳහාත් ය.
"මොකක්?!"
"ඇයි උඹ මාවයි අර කෙල්ලවයි සෙට් කරන්න දත කන්නෙ? මොනා දැකලාද මොනා හිතිලාද?"
සජානා ඇස් බෝල කරකැවූයේ මුවත් ඇද කරමිනි. චිත්රූ ඇයට තොරණක් යැයි පැවසීම වැරදි නැත. ඈ ඇත්තෙන්ම තොරණකට බල්බ් දැමුවා සේය. සජානා දිගු හුස්මක් ඉහළට ගත්තේ දෑත් ද ඒ රිද්මයට පපුව ඉදිරියෙන් තබා ඉහළට ගනිමිනි. මිහිදුම් මෙන්ම සහේල් ද පසෙක වූ කැතරින් ද සජානා දෙස බලා සිටියේ ඇය කුමක් කියන්නට යනවා දැයි සිතමිනි.
"හරි... මේ අහන්නකො... එහෙම සෙට් කිරිල්ලක් කරන්න හැදුවෙ නෑ මිහී. හැබැයි අර මම කිව්වෙ, ඔය දෙන්නාගෙ මාර කෙමෙස්ට්රි එකක් තියෙන්නෙ. මාරම මැචින්. මුන් පොට්ටද මන්දා ඒක පේන්නැති වෙන්න. හැබැයි මට නම් පේන්නෙ උඹලා දෙන්නා උඹලාටම මවලා වගේ"
"හරියට උඹට ඕනි වුණා වගේ?"
එවර සජානාගේ එක් ඇහිබැමක් පමණක් එස වූණේ නැවත වරක් මුහුණ ද ඇදව යද්දීයි.
YOU ARE READING
වත්සුණු || Wathsunu
General Fictionඇය නිරුවතත් කලා ඇසකින් දකින සිත්තරාවියක්... ඔහු අසීරුම තැනදිත් සැහැල්ලුවම සොයන මං සරන්නෙක්... #contemporaryfiction #sinhalanovel #mturethemes #romance