ඇය මලක් මෙන් සුන්දර වුව ද පිපී ඇත්තේ නො ගැළපෙන උද්‍යානයක බව මිහිදුම්ට වැටහුම් යන්නේ ඇය බොහෝ සෙයින් නො සන්සුන් වූ ඒ රැයේදී ය. අනුකම්පාවක් නො සිතුනා නොව, නමුදු ඔහුට සිතින් කිරා මැන බලන්නට ඔහුගේම සිතිවිලි බොහෝමයක් විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඇයව හමුවීම ය. විවෘතව කතිකා කිරීම ය. සීමා මායිම් කවරේද යන්න ඇයට ඉක්මනින් පැවසීම ය. කඳුකරයේ පණිවිඩය කරදිය වළල්ල වෙතම පැමිණීමේ පෙරවදන් එලෙස ය.
ඇය ඔහුගේ දෑස් වල ගිලෙමිනි. ඔහුගේ අවශ්‍යතාවයන් ප්‍රශ්ණ කරමිනි. ඇය සූදානම් නැති වුවත් ඔහුගේ ඇතුළාන්තයට පළමුවරට මුහුණ දීමට ඇය සූදානම් බව ඇය පවසයි. නමුදු, මිහිදුම් සිටියේ දෙපැත්තට වැනෙමිනි. ඇය ඉදිරියේ විවෘත විය යුතුම ය. නැතිනම් නිකිණියක් සොයන්නට* ගොස් ඇය අතරමං වන්නී ය. අනෙක් අතට ඇගේ වත්මන් පසුබිම මෙවන් පණිවිඩයකට සුදුසු දැයි තරුණයා ලතැවිල්ලෙනි. කෙතරම් ස්වයං කේන්ද්‍රගතව සිතුව ද පෙරදා රැයක ඇගේ නො සන්සුන් ඉල්ලීම ඔහුට අමතක කරන්නට බැරි ය.
'Can you please help me to calm down?'
ඉල්ලීමක බොහෝ සෙයින් සංවේදී ය. ඇය පසු කරමින් සිටින්නේ ද එවැනිම සංවේදී කාල පරිච්ඡේදයක් බව ද පැහදිලිය. ඔහු දෙවරක් තෙවරක් නොව තවත් වරක් සිතමින් සිටියේ එනිසා ය. එකම කරුණක පැතිකඩ ද්විත්වයක් මාරුවෙන් මාරුවට තමාට පහර ගසන අයුරු! තරුණයාට සිතුනේම 'මෙවන් අසාධාරණක්!' කියායි.
"It will be too much for you"
මේ මොහොතේ ඔහුගේ ගණුදෙණු කාරිය පමණට වඩා සිතිවිලි ධාවනයේ යෙදෙන්නියකි. එනිසා සිතුවාට වැඩියෙන් එවදන් ප්‍රභලව දැනිණි. ඉදින් ඔහුට වැටහී ඇත. ඇගේ ඇතුළාන්තයෙහි චිත්‍රණයක් ඔහුට ලැබී ඇත. ඒ ඉදිරියේ යුවතියට හැඟුණේ කිනම් ආකාරයේ හැඟීමක් දැයි නිශ්චිත නො වීය. ඇයට කලියෙන් ඔහු ඇයව කියවා ඇති ප්‍රීතිය?. නැතිනම් සැඟවීමට තැත් කළ රහසක හෙළිදරව්ව නිසා ඇති වන කම්පනය?. තමා කෙරෙහි ඔහුගේ දෘෂ්ඨි කෝණය වෙනස්ව යෑමෙහි බිය?. හරියාකාරව තෝරා බේරා පිළිතුරක් තේරීමට ඇය අපොහොසත් වූවා ය. නමුදු අවසන ඇය මෙසේ කීවා ය.
"මට අනුකම්පා කරන්න නම් එපා"
ඔහු ඇය දෙස බලා සිටියා විනා ඇගේ වදන් ප්‍රතික්ෂේප නො කළේ ය. අනුකම්පාව දැනටම ඒ පිරිමි සිතට ඇතුල් වී ඇති බැව් ඒ දෑස් පවසා සිටියේ ය. යුවතියට අවැසි වූයේ ඇසි පියන් තිර ආවරණ කොට ගන්නට ය. සවන් යොමා මූදු මනාලියගේ ඝෝෂාවට පමණක් මනසින් බැඳෙන්නට ය. නමුදු අතැර යන්නට බැරි යමක් විය. දැන ගන්නට කරුණක් විය.
![](https://img.wattpad.com/cover/344998604-288-k70187.jpg)
ESTÁS LEYENDO
වත්සුණු || Wathsunu
Ficción Generalඇය නිරුවතත් කලා ඇසකින් දකින සිත්තරාවියක්... ඔහු අසීරුම තැනදිත් සැහැල්ලුවම සොයන මං සරන්නෙක්... #contemporaryfiction #sinhalanovel #mturethemes #romance