මිහිදුම් පැවසුවා සේම දෙවැනි කබානාව අභ්යාවකාශයක අතරමං වීමක් වැනිය. විදුල ආලෝක බුබුළු නිවී ගිය සැනින් වහලය පුරා වූ ස්ටිකර් දිලිසෙන්නට විය. ඉහළට වූ පඬිපෙළ නැග යන්නට හැකි අයුරින් සාදා තිබුණි සයනයට උඩින් වූයේ ද වීදුරුවකි. එනිසා රාත්‍රී අහස නැරඹුම් දර්ශනයක් වී තිබිණි.
වෙනස්ම පරිසරයක එතරම් උස නැති සයනයේ චිත්රූත් බොහෝ වේලාවක කතාබහකට අත් ඇල්ලූ සජනාත් ඇයට එහා පසින් සයනයක නිදි සුව විදගත්තේ බොහෝ ඉක්මනිනි. නමුදු නිදි දෙව්දුවට සිත්තරාවිය අසල රැඳීමට හැකි වූයේ බොහෝ කෙටි කාලයකි. කවුරුන් හෝ විසින් උස්සා පොළොවෙ ගැසුවාක් මෙන් යුවතියගේ මනස සුවපත් කළ සැනසීම සුනු විසුනු වී ගියේ ය. දහදියෙන් තෙමී ගොස් අවදි වූයේ සුපුරුදු සිහිනයටම හොඳ හැටි බිය වීගෙන ය. සියුම් විලාපයක් ද මුවින් පිට වුණු නමුත් එය සජානාව අවදි කරන්නට තරම් සමත් නොවීය.
තත්පර කිහිපයක්ම චිත්රූ වැය කළේ තමන් කොහි සිටිනවා ද යන්න වටහා ගැනුමට ය. කුරුණෑගල මඩහාපොල වලව්වේ නැතිව, බදුල්ල නගරයෙන් උසක පිහිටි කබනාව දුටු ඇයට සැනසුම් සුසුමක් පිට විය. පිපාසාව මැරෙන්නට යන අයෙක් මෙන් වතුර වීදුරුවක්ම හිස්ව ගියේ ය. නාන කාමරට වැදි මුහුණත් සෝදාගෙන ආවේ මඳ නැවුම් ගතියක උවමනාව දැඩි වූ නිසාවෙනි. නමුත් ක්ෂණිකවම ඇති වූ ගැස්ම, කළබලය, බිය එකවරම පහව යන හැඩක් නැති ය. ඇය සයනයට නොගොස් සෝෆාවේ අසුන් ගත්තේ එනිසාවෙනි. වැලමිට දණහිසට තබා හිස දෙඅත්ලට බර කර ගත්තේ හිස බර ගතියක් දැනුනු හෙයිනි. එකම සිහිනය ඇය පසුපස හඹා එන්නේ වසර ගණනාවක සිටම ය. එය කෙතරම් පීඩාකාරී වූද කියතොත් පිට මධ්‍යයෙහි ඇයට පුපුරු ගසන්නාක් මෙන් වේදනාවක් ද දැනිණි.
තත්පර කටුව නො නැවතී ගමන් කළේ ය. කොපමණ කාලයක් ගත වූවා ද සැක ය. ඇය තවමත් එකම ඉරියව්වෙනි. සියුම් ගිටාර් තත් නාදයක් ඇසුනේ ඒ අතර ය. තදින් වැසී ගිය චිත්රූගේ දෑස් විවර වූයේ ඒ මොහොතේ ය.
නින්දේ වූ සජානා දෙසත් බැල්මක් හෙලා චිත්රූ සයනයෙන් නැගිට විත් කබානාවේ වීදුරු දොරටුව වසා ගත් තිර රෙදි මෑත් කළේ ඒ සංගීත රාවයේ නිර්මාණකරුවා සොයා ගන්නට ය. ඉදින් ඔහු සිටියේ ගැසේබෝවෙහි ය. රාත්‍රියේ නිදි සුව විදින්නට නොහැකිව ඇත්තේ ඇයට පමණක් නොව, ඔහු ගිටාරය අතට ගන්නට ඇත්තේ එනිසා විය යුතු ය.
YOU ARE READING
වත්සුණු || Wathsunu
General Fictionඇය නිරුවතත් කලා ඇසකින් දකින සිත්තරාවියක්... ඔහු අසීරුම තැනදිත් සැහැල්ලුවම සොයන මං සරන්නෙක්... #contemporaryfiction #sinhalanovel #mturethemes #romance