මඩහාපොල වලව්ව තවත් මුසාවකින් රවටන්නට චිත්රූට හැකි විය. සහෘදයා කලායතනයේ දරුවන් සමඟ හසිතා කවිසිගමුව යටතේ සිතුවම්කරණය සඳහා සුදුසු දර්ශන තලයක් ඇති ස්ථානයක් බලා යාමට සිදු වන බව ඒ මුසාවක් නොවන මුසාවයි. දෙවන වසරේ සිසුන්ව ඉබ්බාගමුව පිහිටි බතලගොඩ ජලාශය වෙත රැගෙන යාම කොහොමත් සිදු වන්නට නියමිතව තිබිණි. නිශ්ශංකමල්ල රජ බිසව කල්‍යාණවතී බිසව විසින් නිර්මාණය කර ඇති මේ අපූරු නිර්මාණය දෑස් පිනවන සුන්දර දසුනකි. එනිසාම කලායතනයේ සිසුන්ට මේ අවස්ථාව ලබා දීම මනස ද සුවපත් කරන්නක් බව ප්‍රභාත් බාලසූරියගේ මතය යි. ඉදින් ඒ ගමන එසේ සිදු වන නිසාම එදිනම මිතුරු කවය හා හුලංගල යෑමට චිත්රූ දින සැලසුම් කළා ය. දැඩි නිහැඬි පිළිවෙතක් අනුගමනය කළ මහසෙන් මඩහාපොලගෙන් ඊට අනුමැතිය ලැබුණේ දින ගණනකට පසුව ය. පියා හිතා මතාම සිය මනස පීඩිත කරන්නේ දැයි විටෙක දියණියට සිතුණි. නමුත් අවසන් තීරණය ඇයට සුභදායී වෙද්දී අනෙක් සියලු ඍණ සිතිවිලි මනසෙන් උදුරා දමන්නට සිත්තරාවයි කටයුතු කළා ය.
එතැන් පටන් ගැටලුව වූයේ වෙනකකි. මං සරන්නා සමඟින් අවසානයට වූ වචන ගනුදෙනුව ඇයව නොසන්සුන් කර තිබුණේ ය. ඔහු සාමාන්‍ය රටාවට සිතිවිලි හසුරවන්නෙක් නොවන බව දැන් දැන් විශ්වාස ය. සංවේදියෙක් නො වීය. පිටස්තරයන් ඔහුට අදාල නැති ය. මං සරන්නා එබැව් සෘජුවම පවසා හමාර ය. යටි සිතෙහි පීදි තිබුණු බලාපොරොත්තු මත්තට වැදි අකුණු සරය නිසාම සිත්තර සිත හෙල්වී ගොස් තිබිණි. ශෝකයක් දැනිණි. බියක් දැනිණි. නො සන්සුන්කමක් දැනිණි. සෘණ සිතිවිලි බොහෝමයක් ඇගේ තනි රකින්නට පැමිණ ඇත. නමුත් පය මුලටම පැමිණි අවස්ථාවට පිටුපාන්නට ඇයට කෙසේවත් නො හැකි විය. මේ අවස්ථාව ඇයට සිසිරයේ පිපි වසන්ත කුසුමක් වැනි ය. එනිසාම තරවටු දහසක් අවසන සිත පාලනය කරමින් මිතුරු කවය හා එක්වන්නට සිදු විය.
අනෙක් අතට මං සරන්නා වූයේ මෙරුන් පැහැ වෙල්වට් රෙද්දට සාප කරමිනි. එවන් සාරාගී සිතිවිලි දාමයකින් පසුව නැවත ඇයව දෑස් ඉදිරියේ දකිද්දී සිරුරම ගිනියම්ව ගියේ නිමේෂයකිනි. සිතිවිලි කෙතරම් නම් ප්‍රභල දැයි තවත් සාක්ෂි අවශ්‍ය නො වීය. කතිකා කරගත් ලෙසට කුරුණෑගල ඔරලෝසු කණුව අසලදි ඔවුහු හමුවූහ. නිවැසියන් රවටන්නට කලායතනයට ගොස් එතැන් සිටි චිත්රූව රැගෙන ඒම සතිෂ්ක සිදු කළේ ය. ඩෙනිම් කලිසම ඇඳ ජැකට්ටුව දමා හිස් වැස්ම ද පැළඳි කළ ඇයව හඳුනා ගැනීම අපහසු වූයේන් සතිෂ්කට නම් චකිතයක් නො වීය. නමුත් චිත්රූ නම් සිටියේ සුපුරුදු චකිතයෙන්ම ය. ඇයව දැක මිහිදුම් සිටියේ වරින් වර සිත ආක්‍රමණය කරනා පෙරදා රැයෙහි ඇගේ දෙතොල් මත තැබූ චුම්භනයන්ගෙන් බේරෙන්නට වෙර දරමිනි. දෙදෙනාම නිහඬ ය. නමුත් සිතිවිලි බොහෝ ඝෝෂාකාරී ය.
YOU ARE READING
වත්සුණු || Wathsunu
General Fictionඇය නිරුවතත් කලා ඇසකින් දකින සිත්තරාවියක්... ඔහු අසීරුම තැනදිත් සැහැල්ලුවම සොයන මං සරන්නෙක්... #contemporaryfiction #sinhalanovel #mturethemes #romance