8 කොටස

112 13 0
                                    

කලාගාරය ඉදිරියේ නවතා තිබූ මෝටර් රථය යුවතිය එතරම් තැකීම් නොකළා ය. මාධවී හදිසි පණිවිඩයක් නො දුන් නිසා පැමිණි පුද්ගලයා කවුරුන් වුවත් තමාගේ ප්‍රමාද වීම ගැටලුවක් නැති අයෙක් විය යුතු යැයි ඇය සිතුවා ය. කලාගාරයේ ඉදිරි පඬි කිහිපය නැග විසල් දොරෙන් ඇතුළු වුණු හැටියේ සුපුරුදු පරිදි උදෑසන සුභ පැතුම් ද ඇතිව ඇයව පිළිගන්නට ආවේ මාධවී ය. සහායිකාව සතුව තවත් පණිවිඩයක් ද තිබුණා ය.

"අර මිස්ගෙ යාලුවාගෙ පේන්ටින් එක ගන්න ආවා. උඩ ඉන්නවා"

දෑස් හීනි කරමින් චිත්රූ මාධවී වෙත යැවූ බැල්ම සහායිකාවට ද ගැටලුවක් විය. නමුත් සිත්තරාවිය කිසිවක් නො විමසාම ඉදිරියට ඇදෙන්නට වූයෙන් ඇය ද නිහඬ විය. අමුත්තන් සියල්ල රඳවා තබන්නේ කාර්යාල කාමරයට එහා පසින් වූ නිදහස් කොටසේ බව දන්නා නිසා චිත්රූ ගමන් කළේ උඩු මහලට ය. පඬිපෙළෙ සම්පූර්ණයෙන්ම නැග අවසන් කිරීමට අවැසි නොවී ය. අමුත්තා රැඳී සිටියේ පඬිපෙළ ආසන්නයේම වූ බිත්තියේ එල්වා තිබූ සිතුවම ඉදිරියේ ය. ඔහු සිටියේ ඒ පුරා දෑස් යවමිනි. චිත්රූ හා ඈ පිටුපසින් සිටි මාධවීගේ අඩි උසැති පාවහන් පොළොව මත වූ ඝට්ටනයේ හඬ නොවෙන්නට ඔහු තවමත් ඒ සිතුවමෙහි ගිලී හිඳින්නට ඉඩ තිබිණි.

යුවතියට එය ආශාවක් වූ නමුදු බලාපොරොත්තුවක් නොවූ මොහොතකි. ඇය සිටියේ ඔහුගේ රුවෙන් විසිරී ගිය සිය සිතිවිලි එක් රැස් කරන්නට උත්සහ කරමිනි. ඒ කාල වර්ණ තිත් දෙක තමා වෙතටම හැරී නැවතෙද්දී, ඒ ප්‍රියමනාම සිනහව තමන් වෙතටම විසි වෙද්දී, ඇය කෙළ පොදක් ගිල දැම්මේ නො සන්සුන්ව ය. ඉදිරියෙන් ඔහු ය. පිටුපසින් මාධවී ය. ඉදින්, ඇය ගිරයකට හසු වූ පුවක් ගෙඩියක් වැනි ය. ඇත්තෙන්ම මාධවී ද අතරමං වූයේ මේ භාවනාව කුමක් දැයි සිතා ගැන්මට නො හැකිව ය. නමුත් එය භාවනාවක් නොව, අනපේක්ෂිත තත්වයකට මනස මෙන්ම ගත ද හැඩ ගැසීමකි. කරුණ නම් එය සාමාන්‍ය තරමට වඩා මන්දගාමී වීම ය.

සුදු පැහැ ශර්ටයේ අත වැලමිට තෙක් නමා තිබිණි. සමෝවන් වර්ගයේ ටැටූව අදත් හොඳින් දර්ශනය වූයේ එනිසාය. ලා නිල් පැහැ ඩෙනිම් කලිසමේ සාක්කු ද්විත්වටම අත් දෙක බහා ඔහු සිටි ඉරියව්ව චිත්රූ දැක හෝ ඔහු වෙනස් කර නො ගත්තේ ය. එලෙසින්ම ඉදිමින් ඇය වෙත සිනහවක් පෑ ඔහු, ඇගේ හිසේ සිට පාදාන්තය දක්වාම එක් බැල්මක් රැගෙන ගියේ ය. අදත් ඈ හැඳ සිටියේ ගවොමකි. එදා කැලිප්සෝවේදී දකිනවා තරමටම ඇය පියකරු ය. ඈ හැඳ සිටි ලා නිල් පැහැ ගවොම ඊට රුකුල් වී තිබිණි. ඔරලෝසුවක් සහ ඒ අතේම පැළඳි හීනි බ්ලේස්ලටය, අනෙක් අතේ වූ කුඩා රත්තරං මුදුව ඇරෙන්නට වෙන කිසිඳු ආභරණයක් නො වීය. ඈ සරල ය. එකවර ඔහුගේ සිතට පැමිණියේ එවන් සිතිවිල්ලකි. නමුත් එය තහවුරු කිරීම කල් දැමීමට ඔහු තීරණය කළේ ය. තවත් වරක් තමා ඉදිරියේ තිබූ සිතුවම වෙත ඔහු දෑස යවන්නේ ඇගේ හැසිරීමේ වූ තිගැස්ම වැටහුණු නිසාවෙනි. ඉදින් වචන හුවමාරුවට පෙර ඇයට තමන්ව සූදානම් කර ගැන්මට කාලය ලැබුණි. නැතිනම් මිහිදුම් විසින් කාලය ලබා දුන්නේ ය. කෙසේ හෝ චිත්රූ ඉන් සතුටු වද්දී අප්‍රසාදයට පත් වූයේ මාධවී ය. ඇය දුටුවේ මිහිදුම්ගේ ගරු සරු නැති බාවයක් පමණි.

වත්සුණු || WathsunuDove le storie prendono vita. Scoprilo ora