වේදනාව .. වේදනාව කියන්නෙ නිඛිල්ට පුරුදු දෙයක් නෙවෙයි. පොඩි කාලෙ ඉදන් පවුලේ අය අතරේ හැදුන නිඛිල් ජීවත් උනේ හරිම සරල සුන්දර ලෝකෙක. කතා පොත්වල මූවීස්වල සිද්ධ වෙන දේවල් ඇත්තටත් වෙන්න පුළුවන් කියලා එයාට තේරුම් ගියේ කොත්මලේට ආවට පස්සෙ.එතනින් පස්සෙ උන දේවල්... නිඛිල්ට තාමත් හිතාගන්න බෑ එයා මේ ඉන්නෙ හීනයක් ඇතුලෙද කියලා. එකපාර මේ ඔක්කොම අතුරුදහන් වෙලා කොළඹ ගෙදර ඇඳෙන් එයා නැගිට්ටුනත් නිඛිල් නම් පුදුම වෙන්නෙ නෑ.
උරුමය... ඒක ගැන නිඛිල්ට කිසිම ලෝභ කමක් දැනුනේ නෑ. ඒත් එයා උරුමේ පැවරුවොත් ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නේ ආතූට නම් එයාට කිසිම උවමනාවක් තිබුනේ නෑ ඒක කරන්න. එයා දන්නවා එයාට පුළුවන් දරාගන්න. ආතූ එනකන් !!
නිඛිල්ව මෙයාලා අරන් ඇවිත් පැය විසිහතරකට කිට්ටු වෙන්න ඕනෙ. මේ කාමරේට ඉර එලියක් වැටෙන්නේ නැති නිසා රෑද දවල්ද කියන එක හරියටම කියන්න බැරි උනත් පැය ගානකට කලින් ආපු වේද්ලගේ වයසෙම වගේ කියලා හිතන්න පුළුවන් කෙනෙක් කාමරේ කෙලවරක ගිනි කබලක් පත්තු කරලා ගිය නිසා ඒ රෑ වෙන්න ඇති කියලා නිඛිල් හිතුවා.
ඒ ආපු කෙනා අශ්වින් වගේම හැඩි දැඩි, මූනෙ කිසිම හැඟීමක් නැති කෙනෙක් උනත් අශ්වින්ලාගෙ තරම් එපා කරපු පෙනුමක් නිඛිල් පෙනුනේ නෑ. සද්ද නැතුව කාමරේට ආපු එයා ගිනි කබල තියලා ඒක පත්තු කරලා නිඛිල්ව වහලේ බාර් එකෙන් ලෙහලා ආපහු පුටුවේ ගැටගැහුවේ නිඛිල්ට එයා අරන් ආපු බෝතලේකින් වතුර ටිකකුත් පොවලා.
ශාලිනී නිඛිල්ට පෙව්වේ මොකක් උනත් ඒකට මත් වෙලා හිටපු නිඛිල්ට වතුර බොන්නවත් සිහියක් තිබුනේ නෑ. ඒ තරමට එයා මත් වෙලා හිටියේ. ඒ ආපු කෙනා පොවපු වතුර බෝතලේම හිස් කරද්දියි එයාට වතුර තිබහ කියන දේ මතක් උනෙත්. ආපහු පුටුවේ ගැටගහද්දි නිඛිල්ගේ උඩට කරලා ගැටගහලා තිබුන අත්වලට වගේම තැලිලා තිබුන ඇඟටත් පොඩි සහනයක් දැනුනත් ඒක තිබුනේ පැය ගානකට විතරයි.