18

2.5K 502 12
                                    


බෙල්ලන්විල වෙහෙරට සුදු මල් පූජා කරන්න
මා ඔබෙමයි සිතන්න
ඔබ මගෙමයි සිතන්න
පෙම්බර රෝස කුසුම සිත මල පූජා කරන්න

වරදෙදි සමාවෙන්න - ආපසු එය නොකර ඉන්න
සතුටෙදි දරාගන්න - ඒ වැඩිදුර එපා යන්න
සුවඳට තුරුළු වෙලා - සුසුම් පොදට ලැගුම් දෙන්න
ඔබ දෙව්දුවක් වෙලා - හිත ලඟ මගෙ නතර වෙන්න

කොල්ලෝ එක්ක ඩෙස් එකට ගගහා සිංදු වැල නොකැඩී කියනකොට ඔය සිංදුව සිය සැරයක් කියලා ඇති. ඒත් ජීවිතේ පලවෙනිවතාවට බෙල්ලන්විල රජ මහා විහාරයට ආවේ. ජීවිතේ මොන තරම් ටික කාලෙකින් වෙනස් වෙනවද? මම ඒ කාලෙ හිතුවෙ නෑ මම සිංදු කියද්දි ගොඩක් වෙලාවට හින්ට් ගහන කොල්ලා එක්කම මට බෙල්ලන්විල එන්න වෙයි කියලා. ඒත් අද ඒක එහෙම වෙලා.

මල් කඩ පෝලිමට තියෙද්දි මම අතට අහුවුන ළඟම කඩේකින් නෙලුම් මල් මිටක් ගන්න හැදුවෙ. ඒත් ඉෂේක් මගෙ ෂර්ට් එකෙන් ඇද්දෙ තව ඉස්සරහට යමු කියන්න.

"ගොඩක් දුප්පත් මිනිස්සු ඉන්නවා රශ්‍ර..මේ මිනිස්සු තුන් වේල කාලා ඇඳලා හරි ඉන්නවා. ඒත් සමහර මිනිස්සු වේලක් නොකා වේලක් ළමයින්ට කන්න දෙන්නෙත්. මං හැමදාම මල් ගන්න තැනක් තියේ. එන්නකෝ.."

ඉෂේක් පුදුම එකෙක්. කොල්ලෙක් දෙයක් ගන්න ඔච්චර හිතන්නෙ නෑ. මම ඒක මූට ඇනලා කියන්න හැදුවෙ. ඒත් ඌ ඇවිත් නතර වුන තැන දකිද්දි ඌට අනින්න හිරි ඇරපු මගෙ අත පහලට කඩන් වැටුනා.

"ඉෂේකයියේඒඒඒ.."

"කොහොමද බෝනික්කි.. කෝ අම්මා නැද්ද අද? "

"අම්මාට සනීප නැතිවෙලානෙ අයියෙ.. ලොකු අක්කා ඉන්නෙ කඩේ. එන්න අද මායි නංගියි ගැටපිච්ච කැඩුවෙ..."

ඉෂේක්ගෙ අත් දෙකේ දෙපැත්තෙන් එල්ලුනේ බටු ඇට දෙකක්. කොල්ලා ඇති පහේ විතර. කෙල්ල ඇති එකේ දෙකේ.. මට පුදුම හිතුනා ඉෂේක් උන් දෙන්නව දෙපැත්තට තුරුලු කරගන්න හැටි දැක්කම. වීදි ළමයි වගේ. පිරිසිදුවට ලස්සනට ඉන්න උන් නොවුනට ඉෂේක් කතා කලේම පොඩි කෙල්ලට බෝනික්කි කියලා. අඩි දෙක තුනක් ඉස්සරහට ගිහින්ම නැවතුනෙ යන්තම් වහලෙට ටකරන් දාපු මල් කඩයක් ලඟ. අනිත් කඩ වලින් එන නෙලුම් මල් සුවඳ, කට්ටකුමංජල් සුවඳ වෙනුවට ඒ පොඩි කඩෙන් ආවේ ගැටපිච්ච සුවඳක්.

"ආනේ ඉෂේක් අයියෙ.. ඔයා වෙනදට එන්නෙ පෝයටනෙ..මං බැලුවා නංගියි මල්ලියි දුවද්දි ඇයි කියලා.."

"අද මේ යාලුවෙක් එක්ක ආවා නංගි. කෝ අම්මා අසනීපෙන් කිව්වා..? "

"අම්මට හතිය අයියෙ.. ගියපාර බෙහෙත් ටික ඉවර වුනානෙ.. සීතල අහුවුන ගමන් හති එනවා. මේක නම් වුනේ ඊයෙ රෑ ගොටුකොළ ටිකක් හම්බුනා.. ඒකෙ සීතල ඇල්ලුවා.."

"ඉතින් බලන් ඉන්න හොඳයැ. බෙහෙත් ටිකක් ගන්න එපෑ.. අදම යන්න නංගි ඕවා නරක අතට යන්නෙ. "

ඉෂේක් පොඩි උන් දෙන්නගෙ කොණ්ඩෙ අවුස්ස අවුස්ස කඩේ හිටිය ලොකු කෙල්ල එකක් කතා කලේ. මම ඉෂේක්ගෙ පිටිපස්සෙ අත් බැඳගෙන බලාගෙන හිටියා. මගෙ ඇහැට නොපෙනෙන ඒත් ඉෂේක්ට පේන දේවල් කොච්චර තියේද. පස්සෙ ඒකා මාව මතක් වුනේ දැන් වගේ මං දිහාට හැරුණා.

"රශ්‍ර.. අද නෙලුම් මල් නම් නෑනෙ. ඇන්ටි අසනීපෙන්ලු. ඔයා ඔහෙන් ගන්නකෝ නෙලුම්. මම මේ ගැටපිච්ච වට්ටියක් ගන්නම්.."

"ඇයි මම නෙලුම් ම පූජා කරන්න ඕනි කියලා නියමයක් තියේද? නංගි අපිට ගැටපිච්ච වට්ටි දෙකක් දෙන්න.."

මම ඉෂේක් දිහා රවලා බලලා පොඩි කෙල්ලට කියද්දි බය වෙලා වගේ බලන් හිටිය පොඩි එකී ඉක්මනට තිබුන ලොකුම ගැටපිච්ච වට්ටි දෙක මට දික් කලා. ගොඩක් සුවඳ අලුත් මල්.. දවල් වෙද්දි ගැටපිච්ච පර වෙන්න බලනවා වුනත් එහෙම පාටක් පෙනුනෙ නෑ තාම උදේනෙ. ඉෂේක් පුදුමෙන් මං දිහා බලද්දි මම දෙන්නටම ගැටපිච්ච වට්ටි දෙක ගත්තා..

"නංගි එළඟිතෙල් පහන් දෙකකුයි හඳුන්කූරුයිත් දෙන්න. ඉතුරු තියාගෙන අම්මාට බෙහෙත් අරන් දෙන්න.."

ඉෂේක් කිසිම අහිතක් නැතුව දාහක් දීලා පහන් දෙකකුයි රුපියල් පනහෙ හඳුන්කූරු එකකුයි ගනිද්දි මම ඇත්තටම ඒකා ගැන හිතාගන්න බෑ වගේ බැල්මක් දුන්නෙ. කොල්ලෙක් ගොඩක් වෙලාවට ඕක කරන්නෙ නෑ.. සල්ලි තියෙනවට ඌ වියදම් කරනවා නෙවෙයි. ඌටත් නෑ.. මහ පාන්දර ඉඳන් ඇහැරන් අවන් එක ගාවට නැමි නැමි කප් කේක් හදාගෙන ඒවා අතින් කටින් එල්ලන් බස් එකේ ගිහින් කඩ වලට දා දා ඊළඟට තව කැෆේ එකකත් උදේ ඉඳන් හවස් වෙනකන් වැඩ කර කර ඌ කරන්නෙ සෙල්ලමක් නෙවෙයි. ඒත් ඌ එච්චර මහන්සියෙන් හම්බකරපු දේ අර කෙල්ලට දුන්නා..

"එන්නෙ නැද්ද.. දවල් වුනාම කොටුවෙ කඩ ගානෙ ඇවිදින්න හරි අමාරුයි.."


______________________________

- සියතු පියාපත් - [▪︎COMPLETED▪︎]Where stories live. Discover now