"මට අනාගතේ තේරුනේ නෑ"
මනරු කවිය කියලා ඉවර වෙනවත් එක්කම ටික වෙලාවක් එයා දිහා බලන් හිටපු මාණික්ය ඔලුව කෙලින් කරන ගමන් කියද්දි කට කොනාට ගත්ත හිනාවක් එක්ක මනරු පුටුවෙන් නැගිට්ටා.
"නැගිටින්න"
"ආහ්?"
"නැගිටින්න ඉතින් තේරුම් කරලා දෙන්න"
අත් දෙක ඉන දෙපැත්තට තියාගෙන කීයද්දි මාණික්යත් පුටුවෙන් නැගිට්ටා. ඒ නැගිට්ටත් වගේ මනරු එයාව ඇද ඉස්සරහින් හිටෙව්වා.
"මොන නැටුම නටන්නත් කලින් අපි මුලින්ම ඉගෙන ගන්නේ දණ්ඩියමේ සරඹ මාණික්ය.. ඊට පස්සේ අත් සරඹ.. ඒත් දැන් මෙතන දණ්ඩියමක් නෑනේ.. ඒත් අපිට නම් මේ නැටුම පුරුදු වෙන්න පිටින් ඔය මුකුත් ඕනෙත් නෑ.."
මාණික්ය සද්ද නෑ.. එයාට ඔය ගැන වැඩි අදහසකුත් නෑ.. හැබෙයි,
"එහෙනම් ඔන්න අපි නටන්න හදන්නේ මැදුම් තනි තිතට මාණික්ය"
ඒ කියලා මනරු මැන්ඩියට නැවිලා අත් දෙක ඉන දෙපැත්තට තියාගනිද්දි මාණික්ය දැන් මොකක්ද වෙන්න යන්නේ කියලා හිතාගන්න බැරුව එයා දිහා බලන් හිටියා.. ඉතින් මැඩියට නැවුන මනරු එතනින් නතර වුනේ නෑ.. එයා මැදුම් තනි තිතට අඩි තිය තිය ඒ තාලෙට පා සරඹ එක්ක අත් සරඹත් තියන්න ගත්තා.
" ජිං ගත ගො ගො.. ජීං ගත ගො ගො.. ජිං ගත ගො ගො.."
මේ මනරු එයාගේ ඉස්සරහා හරියටම නටලා පෙන්නපු පළවෙනවා වතාව වෙන්න ඕනේ.. නැත්තන් පැත්තක ඉඳන් දෙනොදහක් බාධක මැද්දෙන් අරෙහෙන් මෙහෙන් බලන් හිටපු දෙයක මිසක් මෙහෙම කරදරයක් නැතුව බලන් හිටියමයි..
"රොසින් පහර දෙතින රතුරු පස මිතුරු.. එදින
ලෙසින් සිටිති නොසැලී මහමෙර අයුරු.."තියන තියන අඩියක් ගානට ගැලපෙන්න කවියේ පද ගානකට කියන මනරු නැටුම මැද්දෙදි ඇවිත් කෙලින්ම හිට ගත්තේ මාණික්ය ඉස්සරහා. නැටුම ඊලගට මොනා වෙයිද කියලා අදහසක් නෑ ඒත් ඊට කලින් මනරු එයාගේ ඉන වෙනුවට මාණික්යගේ ඉනෙන් අල්ලන් ඉස්සරහට අඩිය තාලෙට තියාගෙන යනවත් එක්ක මාණික්ය කකුල් පැටලිලා වැටුනේ එයාගේ ඇද උඩට.