16 : සීනි කිලො එක

609 152 107
                                    

කමෙන්ට් ගෝල් 50

" ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
මෙය කී එකාගෙ කට කෑවත් මදිය
ඉක්මන් උනු සර් ලඟ දැන් හත අටය
මෙය කී මා තාමත් තනිකඩය"

"කටවහගෙන ඩ්‍රයිව් කරපන්!!!"

සෙනේෂ් තමන්ගෙ ඇඟෙ වෙලුනු කූඩැල්ලි පැටියා අහකට තල්ලු කරන්න තනන ගමන් තරහෙන් දෙඩුවා. මනෝහර වන්දීත්ව ගෙදරට දක්කගෙන ඇවිල්ලා අලුත් අඩව්වක් ඇල්ලුවාට පස්සෙ ඒක කෙලවර උනේ ඉස්පිරිතාලෙන් ලෙඩ්ඩු දෙන්නෙක් මහ රෑ ජාමේ පැනලා ගිහින් කියල ප්‍රවෘත්ති වලටත් ගිහින්. වන්දීත්ව ඒකගෙ මාමාට කතා කරලා ගෙදර ඇරලවා ගන්න ඇහැකි උනත් , මහ පාන්දර ගෙදර ඉස්සරහට රොක් වෙලා ෆොටො ගන්න මීඩියා කාරයන්ගෙන් බේරිලා " මෙන්න මේකව ඉස්පිරිතාලේ ට දක්කගෙන පල" කියලා සෙනේෂ්ට මනෝහර ට කියන්න බැරි උනා.

ඒ වෙනුවට "මයෙ මහත්තයා දාලා මම යන්නෑ" කියලා බෙරිහන් දෙන එකාගෙ අතිනුත් අල්ලගෙන " මම මේකව ගෙදර තියා ගන්නම්. ගෙදර තියාන ට්‍රීට්මන්ට්ස් ගමු " කියලා දොස්තරලාට කියන්න සෙනේෂ්ට සිද්ධ උනා. එතනට ආව ඩොක්ටර් දුටුසේන ගත් කටටම "ඒක හොඳ අයිඩියා එකක්" කියල කීව නිසා සෙනේෂ්ගෙ ප්ලෑන් බී එකත් වල පල්ලට ගිහින් නැති බංගස්තාන වෙලා තොලොංචි වෙනවා සෙනේෂ් ට බලාන ඉන්න උනා.

රට්ටුන්ට පේන්න මම තරම් හොද මිනිහෙක් නෑය කියලා ගොඩ නගා ගත්ත නම කැත කර ගන්න සෙනේෂ්ට ඇහැකියෑ. ඒ නිසා මනෝහරව ආයෙමත් ගෙදරටම දක්කන්න සෙනේෂ් හිත හදා ගත්තා.

______

සිරි සුන්දරරාම විහාරේ මිරිස්ස මූදට මූනලා තියන බොහොම පෞරාණික පන්සලක්. ගල් උඩ නෙලපු කැටයම් එක්ක මහලොකු දායක සභාවක් නැති සිසිල් ආරාමේ ඇහැ ගැටුණු ගමන් සෙනේෂ්ට ඒ ගැන පැහැදීමක් ඇති උනෙ අවුරුදු හතරකට කලින් මිරිස්සෙ ආව දාක. මං මිරිස්ස මූදුබඩ කලාපෙ එක්ක තමන්ට තිබ්බෙ මොන වගෙ සම්බන්ධයක්ද කියලා සෙනේෂ්ට හිතා ගන්න බැරි උනත් , මේ පන්සලෙ ලොකු හාමුදුරුවො එක්ක කතා බහ කරලා සෙනේෂ් අවුරුදු හතරකට කලින් හිත පෑරිච්ච මොහොතක හිත හිතා ගත්තෙ ඒ පන්සල එක්ක තියන බැදීම තව වැඩි වෙනකොට. ඒ නිසා අවුරුදු හතරක් තිස්සෙ සෙනේෂ් හැම අවුරුද්දකම තුන් පාරක් පන්සලට හීල් දානෙයි , දවල් දානෙයි පූජා කරනවා.

_මනෝහර_Where stories live. Discover now