මිය ගිය හැම මනුස්සයෙක්වම වළ දැම්මෙ ඇත්තටම මිය ගිහින් ඉද්දිද? එහෙම නැත්නම්... උන් මිය ගියා වගේ රඟපෑවා වෙන්න බැරිද? ආයෙම හුස්ම අරන් පරණ හුළඟට පපුවෙ පුස් හදන්න දෙන්න තියෙන අකමැත්තට උන් තමන් විහින්ම නහය තද කරගෙන සිහිමුර්ජා වුණා වෙන්න බැරිද? පණ පිටින් වැළලිලා අතරමැද්දේදී ජීවිතාශාව ඇතිවෙලා වළෙන් ගොඩ එන්න හිතන් මිනී පෙට්ටියට තඩිබාලා තඩිබාලා, අන්තිමට ඔක්සිජන් නැතුව යන්න ගිය මිනිස්සු ගැන කතන්දර අපි අහලා නැතුවද?
ජීවිතය අත්හැරීමත් අල්ලාගැනීමත් පුදුමාකාරයි. ජීවිතය අල්ලගන්න තරම් ප්‍රබලම හේතුව ජීවිතයට සම්ප්‍රාප්ත වෙන්නෙ ජීවිතය සම්පූර්ණයෙන් අත්හැරපු නිමේෂයක වෙන්න පුළුවන්...
අාලෝකයේම ජීවත් වුණ මිනිහෙක් වෙච්ච මම මේ අන්ධකාරය තෝරගෙන කොයි තරම් නම් කාලයක් ගතවෙලාද? මේ කුටියේ කැලැන්ඩර් නෑ. පිටස්තර ලෝකය මොන වේගයකින් ගලාගෙන ගියත් මේ කුටියේ අභ්‍යන්තරය කාලෙකට කලින් නවත්තපු තැනම නැවතිලා... ඇස් වහගෙන කල්පනා කරලා බලලා ඇස් අරින තත්ත්පරෙත් මේ ලෝකය එකම තැනක. මේ කුටියේ එක් පසෙකින් තියෙන්නේ ලැහැබකට විවෘත වුණ වීදුරු පළු බිඳිලා ගිය ජනේලයක්; දහවලටවත් ආලෝකයකට ඇතුල් වෙන්න ඉඩකඩක් නැති. අනිත් පසින් තියෙන කඳුකරය දිහාවට විවෘත වුණ ලෑලි ජනේලය; රෑ අන්ධකාරය විඳින්න විතරක් විවෘත වෙන, දහවලේදී මගේ අතින් හිතාමතාම වැහිලා යන.
ඒත් ඇය... ඇය හරියට මේ කඳුකරය මැද්දෙන් හමා යන හීතල හුළං රැල්ලක් වගේ... සදහටම වහලා දාන්න තීරණය කරපු කවුළුවක පුංචි සිදුරකින් පවා ඇතුළු වෙන්න තරම් ඉසියුම්ම උණුසුම් වායු ධාරාවක්. වැරදිලා ආලෝකයට ඇහැ හැරුණ දවසක ඇය මේ කුටිය වටාම කැරලි ගැහුවා... පිපුණු මල්වල නාඹර රේණු සුවඳ දිගේ, දඟකාර විදියට. කවදාවත් හෙලවෙන්න අකමැති දැවැන්ත අතු දිගේ තුරුණු ලියවැල් අතුරවන අතරේ හීතලට කිතියක් නංවමින්... නපුරුකමට අහක බලන කුරුල්ලෙක්ගෙ තුඩ අගට ඌ ආසම කරන මල් කෙමියක් අතින් ඇදගෙන ගිහින් රඳවමින්... කොයි තරම් වේගයෙන් සුළි නගාගෙන කැරකුණත් ඒ මල් කෙමිය වැරදිලාවත් තුඩ අගින් ඉවතට නොගනිමින්... මේ දයාබර වායු ධාරාව, මගේ කුටියේ වැහිච්ච හැම අහුමුල්ලක්ම පීරමින්, අනවරසයෙන් මට මහා කරුණාවක් දක්වමින්...