Sachini Gunarathne ආත්මයේ රික්තක පුරවන්න හැම යාලුවාටම පුළුවන්ද? "යන්නම්" කියනවා අහගෙන ඉඳලා "හා ගිහින් එන්න" කියද්දි අපේ ඇස් බොඳ කරවන්න හැම යාලුවාටම පුළුවන්ද? හීනෙන් පෙනි පෙනි හිත එක්ක ගනුදෙනු කරන්න හැම යාලුවාටම පුළුවන්ද? ජීවිතේ අමාරුම කාර්තුවල වෙච්ච නරකම සිද්ධිවලදි හිතින් අල්ලන් ළඟ හයියට ඉන්න හැම යාලුවාටම පුළුවන්ද? හිත හදන්න තමන්වත් කැප කරන්න හැම යාලුවාටම පුළුවන්ද?
එහෙම පුළුවන් යාලුවොත් ඉන්නවා. එයින් කීප දෙනෙක්ම මේ රටින් මේ වෙද්දිත් යන්න ගිහින්. හදවතේ එකේක ඉසව්වලින් දොරවල් ජනෙල් ඇරගෙන දුර ඈතට යන්න ගිහින්. දැන් අපේ හදවත්වල කොටස් ලෝකෙ පුරාම විහිදිලා ගැහෙනවා. මං මෙහෙ ඉඳන් ඒ හැම කොටසකටම අයිති දම්වැල්වල මට අයිති කොන මළ බැඳෙන්න නොදී හැමදාම පිහදනවා.
"මුහුදෙන් එහාට වීඩියෝ කෝල් තියෙනවානෙ අනේ." කියලා හම්බෙන්න බැරි වුණාම ඒ මොන දුකත් හිතේ හංගගෙන හිනාවෙලා අපේ දුක්බර හිත හදන්න හැම යාලුවාටම පුලුවන්ද? මං නම් සතුටුයි මේ ගිලෙන නැවෙන් කොයි යාලුවෙක් වුණත් පියාඹලා යනවාට. මං දන්නවා ඒ යන හැමෝම ලස්සන ජීවිතවලට උරුමකම් කියන්න තරම් අයිතියක් තියෙන වටින මිනිස්සු. රටට තියාගන්න වාසනාවක් තිබ්බෙ නැති...
බෙදාගත් දුකසැප එක්ක ගොඩනැගිච්ච ලස්සන මතක සටහන් මැද්දෙන් මම වගේම තව යාලුවෝ හුඟක් ඔයා නැතුව එහෙ මෙහෙ ඇවිදගෙන යයි. කඩුවෙල උසාවිය මම දන්නෙ ඔයාගේ නිජබිම විදියට. දැන් එහෙ යද්දි මට මහා පාළුවක් කාන්සියක් දැනෙයි.
මුහුදෙන් එහාට වීඩියෝ කෝල් තියෙනවානෙ කියලා මමත් හිත හදාගන්න උත්සාහ කරයි. අපි දෙන්නා දන්නේ 6 වසරේ ඉඳලා. ඔයා යනවා කියපු දවසේ ඉඳන් මම ටික ටික හිත හදාගත්තා. ඒත් මම බයයි සමුගැනීම්වලට. වාසනාවකට මට මගහැරුණා ඔයාට අත වනන මොහොත. ඒ වෙලත් හිත හදාගන්න එක ලේසි වැඩක් නෙවෙයි.
පොඩ්ඩක් ඇස් දෙක පිහිදගෙන දුකට නිවාඩු ගන්නයි කියලා මං මවාගන්න පටන් ගන්නවා ඔයාට එහේ හම්බවෙන අලුත් ජීවිතයේ ලස්සන. මගේ මූණ ටික ටික එළිවෙන්නෙ ඒ ගැන හිතද්දි. ඔයා හුරුවෙයි. ඔයාට ඉක්මනට එහෙ ජීවිතයට හුරුවෙන්න ලැබෙන්න කියලයි මම ප්රාර්ථනා කරන්නෙ. හැමදේම ලැබෙන්න සුදුසු තරමේ මනුස්සකමක් මෘදු හදවතක් තියෙන කරුණාවන්ත කෙනෙක් සචී ඔයා.