හස්ත...

18 1 2
                                    

ජීවිතෙත් හරියට මළවුන්ගෙ මාසෙ පිපෙන මලක් වගේ. මළවුන්ගෙ මාසෙ කිව්ව ගමන්ම හිතෙන්නෙ ඒ මාසෙ කිසිම දෙයක් පණ පිටින් එළිය දකින එකක් නෑ කියලා. මළවුන්ගෙ මාසෙ මං වගේ මිනිහෙක් ඉපදුණ එක පුදුමයක් නෙවෙයි කියලා මගේ දිහා බලාගෙන නුඹ කියන්නෙම ඒ නිසා වෙන්න අැති. ඔව් ඒක මහ පුදුමාකාර මිනිස්සු ඉපදිච්ච මාසයක්. හොඳ විදියටත් නරකම නරක විදියටත් ලෝකෙ හොල්ලපු මිනිස්සු ඉපදුණ ඒ මාසෙට හොඳ මිනිහෙක් විදියට එකතු වෙන්න කියලා මගේ හිත කොයි වෙලෙත් කියනවා.

"මම කවුන්සිලින් දන්නවා වුණාට ඇත්තටම වෙලාවකට මටත් හිතාගන්න බෑ ඇයි කෙනෙක්ට තමන් ඉපදුණ විදියට අනුගත වෙන්න බැරි කියලා"

"ඒ ඇයි කියලා දන්නවාද ඩොක්ටර්...?"

"ඇත්තටම හරියටම තේරෙන්නෙ නෑ"

"හරි ඩොක්ටර් මම කියන්නම්. ඒක මෙහෙමයි. ඩොක්ටර්ට හෙට උදේට ගවුමක්හරි සාරියක්හරි ඇඳන් ඇවිත් මෙතන රාජකාරී කරන්න වුණොත් ඩොක්ටර්ට මොන වගේ හැඟීමක් දැනෙයිද?"

මට ඊට වඩා පැහැදිලි කරන්න සිද්ධ වුණේ නෑ. ඩොක්ටර් පුටුවේ හිටපු ඉරියව්ව වෙනස් වුණා. විසඳගන්න බැරුව අවුරුදු ගාණක් වෙහෙසුණු ගණිත ප්‍රමේයක් එක ක්ෂණයකින් විසඳුණා වගේ, නිවන් දකින්න උත්සාහ කරලා කරලා බැරිම වෙලා අතෑරලා දාලා ඉන්න වෙලාවක එකපාරටම කතර පෙර නිමිති දැකලා නිර්වාණය අවබෝධ වුණා වගේ අවබෝධාත්මක හැඟීමකින් ඔහු මං දිහා බැලුවා.

ඒත් මට කියන්න තව දෙයක් ඉතුරු වෙලා තිබ්බා. "ඩොක්ටර් ඕක තව ටිකක් ඩිවලප් කරලා හිතලා බලමුද? ඩොක්ටර් හෙට සාරියක් විතරක් ඇඳන් ආවොත් ඩොක්ටර් අද මෙතන හිටිය ඩොක්ටර්ම තමා කියලා කට්ටිය අඳුනගන්නවා. මූණ වෙනස් නැති නිසා. සාරියක් ඇන්ද නිසා හිනාවෙයි. හිනාවටත් වඩා පුදුම වෙයි. ඩොක්ටර්ට පිස්සු හැදිලාද බලයි. ඩොක්ටර් නිකමට හිතන්නකො ඩොක්ටර් එන්නෙ සාරියකුත් ඇඳගෙන, කොණ්ඩෙකුත් දාගෙන, මේකපුත් දාගෙන කියලා. දැන් ඩොක්ටර් ගෑනුද පිරිමිද කියලා ප්‍රශ්නයක් කාටවත් හිතෙන්නෑ,
බැලූ බැල්මට දැන් ඩොක්ටර්ව පේන්නෙ ලස්සන ගෑනු දරුවෙක් වගේ. දැන් ඩොක්ටර්ව කාටවත් අඳුරගන්න බෑ.
දැන් හැමෝම ඩොක්ටර්ට මැඩම් කියලා කතා කරනවා. නම අහනවා. කවුරුහරි ඩොක්ටර්ව වෙන ලේඩි ඩොක්ටර් කෙනෙක් එක්ක පටලවගෙන ඒ නමින් ඩොක්ටර්ට කතා කරනවා. ඩොක්ටර්ට දැනෙයිද ඒ කතා කරන්නෙ ඩොක්ටර්ට කියලා. ඩොක්ටර්ම හිතයි මෙයාලා මේ මට නෙවෙයි කතා කරන්නෙ. මේ බාහිර පෙනුමට රැවටිලා ඒ පෙනුම වගේ ඉන්න කෙනාගෙ නම කියලානෙ කතා කරන්නෙ කියලා. ඒත් ඕක දන්නෙ ඩෙික්ටර් විතරනෙ? ඕක කොහොමද ඩොක්ටර් අනිත් අයට පැහැදිලි කරන්නෙ? මේ ඔයාලා මට කතා කරන්නෙ වැරදි නමකින් කියලා කිව්වොත්? ඔයාලා කතා කරන්නෙ මට නෙවෙයි මගේ පෙනුමට කියලා කිව්වොත්? ඩොක්ටර්... පෙනුමද මනුස්සයා..?

දර්යාWhere stories live. Discover now