Yogika Wijeratne
කැම්පස් ගිය දවසෙ හම්බුණ ඔක්කොම ඒ වෙද්දි අලුත් යාලුවො. නානාප්‍රකාර විදියේ ළමයි දෙතුන් සිය ගාණක් එකපාරම දැක්කාට ඔය එකිනෙකාව වෙන් වෙන්ව අඳුනගන්න සෑහෙන කාලයක් ගතවෙනවා. මුළු ලංකාවම ආවරණය වෙන්න හැම ප්‍රදේශයකින්ම ආපු යාලුවො අතරෙ හිටිය එක ළමයෙක්, මේ ළමයෙක්ද එහෙම නැත්නම් ගුරුවරයෙක්ද කියලා හිතාගන්න බැරි විදියේ පටලැවිල්ලක් එකපාරටම මගේ හිතේ ඇති කළා.
යෝගි අඳින පළඳින විදියේ තිබ්බ ශාස්ත්‍රීය පෙනුමත්, යෝගිගේ තිබ්බ ලේසියෙන් කෙනෙක්ට ළං විය නොහැකි විදියේ පෞරුෂයත් ගැන මගේ හිතේ දැක්ක ගමන් ඇති වුණේ අප්‍රමාණ ගෞරවයක්. මං හිතන්නේ යෝගිට හිත් කියවන්න පුළුවන්. එයා දිහා අප්‍රමාණ ගෞරවයෙන් බලන මගේ මූණෙ ඇතිවෙන බරපතල් පෙනුම නැති කරන්න හිතාගෙනද කොහෙද මගේ හිත කියවලා වාගෙ මොකක්මහරි විහිලුවකින් යෝගි මට දමලා ගහනවා. මාත් එකපාරටම හිනාවෙලා යෝගිගේ විහිලුවට පෙරලා විහිලුවකින් සංග්‍රහ කරනවා.
මට හමුවෙලා තියෙන ආශිර්වාදාත්මක චරිත අතරින් යෝගි මගේ මතකයේ රැඳෙන්නේ ඒ නිසයි. මේ තරම් හිත් කියවන, හිත් හයිය කරවන විදියේ ධනාත්මක ගතිගුණ පිරුණ ආදරණීය මිනිස්සු මට විතරක් නෙවෙයි මිහිතලයටම ආශිර්වාදයක්. කාලය ගතවෙනවා. යෝගියි මායි මීඩියම් දෙකක ඉගෙනගත්ත විද්‍යාර්ථීන් නිසා මට යෝගිවත්, යෝගිට මාවත් හමුවෙන්න හරිම කලාතුරකින්. යෝගිට තිබුණෙ කඩිසර ගමනක්. මාත් ඇවිදින්නේ ඇවිදිනවාද, එහෙම නැත්නම් දුවනවාද කියලා හිතාගන්න බැරි වේගෙකින්. ලෝ ෆැකල්ටියේ බිල්ඩින් ඇතුළේ ඇවිදගෙන යන අතරේ අපි දෙන්නාට දෙන්නා දුවගෙන වගේ එකිනෙකා පහු කරගෙන යනවා. මොකක්හරි හේතුවකට ඒ දුවන අල්ලපනල්ලේත් යෝගිත් මාත් පුරුදු විදියටම විහිලුවක් කියාගෙන හිනාවේගෙන අත වනාගෙන දෙන්නාට දෙන්නාව පහු කරන්න අමතක කරන්නේ නෑ. යෝගිගේ සමහර විහිලුවලට මට උත්තර දෙන්න වෙන්නේ හැරිලා. අපේ කකුල් නම් අපේ විහිලු වෙනුවෙන් කිසිම දවසක යන ගමන නතර කළේ නෑ. කකුල් අපිව කොයි තරම් වේගෙකින් දිශා දෙකකට ඈතට ඇදගෙන ගියත් අපි විහිලුව අතෑරියෙත් නෑ.