දිනය 2023/07/10
වෙලාව හවස 3.45ටහරියටම හතරට තිබුණ කන්සල්ටේෂන් එකකට හැල්මේ දුවන ගමන් හිටපු මොහොතක ගමනාන්තය ඔන්න මෙන්න තිබියදී පිට කොටුවේ කලබලකාරී මාවතක පදික වේදිකාවේ ඉන්න වියපත් සීයා කෙනෙක් ඇහැගැටෙන්නේ අහම්බයෙන්. ගිය වේගෙට ඔහුව පහුකරගෙනත් අඩි දහයක් පහළවක් ගිහින් ආයේම බ්රේක් පාරක් ගහලා තමා මම හැරිලා එන්නේ... පසුම්බියෙන් රුපියල් සීයක් අරගෙන ඔහු දිහාට නැවිලා දිගු කළත් ඔහුට ඒ මුදල් ගන්න කිසිම වුවමනාවක් නැති බව මට පේන්නෙ එතකොට. ඒ කොහොම වුණත් රුපියල් සීය අතට මිටි කරලා එන්න හිතද්දිම මගේ ඔලුවේ සංඥා වැඩ කරන්න පටන් ගන්නෙ මේ පුද්ගලයා මුදල් අවශ්යතාවට වඩා වැඩිමනත් පිහිටක් අවශ්ය මහත්මයෙක් කියලමයි.
"ඇයි සීයෙ මුකුත් අසනීපයක්ද?"
මම පාත්වෙලාම ප්රශ්න කරන්නෙ, මාස ගණනක් තිස්සේ ඔහු වැස්සට තෙමෙමින්, අවුවට වේලෙමින් පීඩාවින්ද පුද්ගලයෙක් බවට ඉවෙන් මෙන් දැනුණ නිසාමයි.
"ප..පු...ව රි..දෙ..න..වා..."
ඔහු එහෙම කියන්නෙ ඔහුගේ දුර්වල අත පපුව දිහාට දිගු කරන ගමන්...
මට එතන මැවිලා පෙනුණේ මාව... දෙනෝදහසක් එහෙමෙහෙ යන මාවතක කාත් කවුරුත් අවධානය නොදක්වන මිනිසෙකු වන්නට සිදුවීම කොයි තරම් වේදනාකාරී විය හැකිදැයි තත්පරයෙන් අසුරු සැනෙකින් මට හැඟී යනවා.
ඔහු එසේ වැතිර සිටින්නේ මත්පැන් පානය කර නොවන බව මට පැහැදිලි වනවා. ඔහු කෙරෙන් මත්පැන් ගන්ධනයක් වහනය වන්නේ නැහැ. මාස ගණනක කාලයක් ස්නානය කිරීමටවත් ඔහුට අවස්ථාවක් ලැබී නැති බවකුයි මට පෙනී යන්නේ...
ඉතින් මේ වටිනා මනුෂ්ය ජීවිතයේ අලුදුඹුල් පිසදාලිය හැකි අන්දමේ සරණක් ඔහු කරා මා රැගෙන ආ යුතු නොවේද?
"සීයේ ඉස්පිරිතාලෙ යමුද?" මං අහනවා. ඔහුට ගමන් කිරීමට නොහැකි බව ඔහු මට සංඥා බාසාවෙන් අඟවනවා.
ඔහුට ප්රතිකාර අවශ්යයයි. මට සිහිපත් වන්නේ සුවසැරිය. අන්තර්ජාලයෙන් අංකය රැගෙන මා ඔවුන්ට අමතා අවශ්ය උපකාරයත්, එකී උපකාරය අවශ්ය මනුෂ්යයා සිටින ස්ථානය පිළිබඳවත් මං සලකුණු පවසමින් මගේ ඉල්ලීම වෙනුවෙන් ඔවුන්ගේ උපකාරය ලබා දිය හැකිදැයි විමසනවා.