(ස්) මරණ සටහන්...
මේක කතාවක් වුණත්, මේක මට අයිති නැති මගේ ජීවිත කතාවෙ කොටසක්...
ඔව්...
හැම අම්මෙක්ම තාත්තෙක්ම බුදු වෙනවයි කියලා විශ්වාස කරන රටක දූ දරුවො කී දාහක් විඳවන අත්දැකීම් කරපින්නගෙන ඔලුව නවාගෙන ඉන්නවා ඇත්ද? හරියට මං වගේ, හරියට ඔයා වගේ... හරියට අපි වගේ...
ලොකු අක්කාගෙ සැමියා ස්ත්රී ලෝලියෙක් වුණත්, ගංජාවලට මත්ද්රව්යවලට සල්ලි හොයාගන්න ගෙදර බඩු මුට්ටු හොරෙන් විකුණලා දැම්මත්, ලොකු අක්කාව සැක කර කර අත අඹරලා කඩලා දැම්මත්, උන්දැ ඒකට බේත් බැඳගෙන රස්සාවට ගියා ආවත්, අනුරාධපුර හතරදිග් භාගයේ නිධන් හොය හොය සති ගණන් අතුරුදන් වෙලා හිටියත්, බූරු තිප්පලවල්වල බැහැගෙන හිටියත්, හිටපු හැටියේ කනත්ත ගාව ගෙදරට පැනලා ඒ ගෙදර අක්කාට අනවශ්ය ක්රියාකාරකම්වලට ආරාධනා කරලා තිබ්බත්, හිටපු ගමන් අම්මා තාත්තාව කපාදාන්න මන්න කැති අමෝරාගෙන ආවත්, බිරිඳට වුණ අහඹු ගැබ් ගැනීම් සෝදා හරින්න බල කළත්, දූලා දෙන්නාව තනියම ළඟ දාලා යන්න බය හිතෙන විදියෙ මනුස්සයෙක් වුණත්...
පිටරට ඉඳලා ගෑස්ටික් උත්සන්න කරගෙන ආවාම අම්මා එහෙව් බෑනාට කසාය පත් හත අට එකට හින්දලා ඇඳ ගාවටම ගිහින් බේත් බොන්න දුන්නා මට හැමදාටම මතක තියෙයි. ඒ මනුස්සයාටම මහගෙදර වත්තේ ගේත් හදාගන්න දුන්නා...
උඩින් හිනාවෙන යටින් බෙලි කපන දෙවෙනි අක්කා. මහ ගෙදර දාලා යන්නෙම නෑ කියන ස්ථාවරේ ඉඳන් හොරණිනුයි, ගනේමුල්ලෙනුයි ඉඩකඩම් දෙකකුත් අරන් දාගෙන, මහගෙදර ඉඩමෙන් එයාගෙ කොටසත් වෙන් කරගෙන, මට ඉන්න හිටින්න තිබ්බ මහගෙයිනුත් මාව එළවගෙන...
මෙච්චරක් දුරට දූවරුන්ට නටන්න ඉඩ ඇරලා අම්මයි තාත්තයි බලන් හිටි ලස්සන...
එහෙමයි අස්ථාවර පවුලකින් එක දරුවො කොටසකට අසාධාරණකම් කරන්න උගන්නන්නෙයි, තව දරුවො කොටසකට අසාධාරණකම් දරන්න උගන්නන්නෙයි...
කිසිම දවසක කිසිම මනුස්සයෙක්ට අසාධාරණකමක් කරන්න තුන් හිතකින්වත් හිතලා නැති මට, අම්මා කතා කරන විලාසය අහද්දි ඇතිවෙන්නෙ පුදුමයක්. කිසිම දුරාචාරයකට සම්බන්ධ නොවී, මම මමම වෙලා, මගේම පවුලක් ගොඩනගාගෙන, කාටවත් අත නොපා, දුක් මහන්සියෙන් හරිහම්බකරගෙන යන හුදෙකලා ගමන ගැන පුදුමාකාර උපේක්ෂාවක්... ඒක මහගෙයක් නෙවෙයි. ඒක මහ උළු ගෙයක්... ඉතින් මට නැතුවාට මොකද, නෙරපීම වේදනාවක් වෙන්නෙ අසාධාරණව සිදුවුණ නිසා විතරමයි...
මං හිතන් හිටියෙ එහෙම පවුලක් තියෙන්නෙ මට විතරයි කියලා. නෑ... එහෙම දරුවො සියදහස් ගණනක් ඉන්නවා කියාගන්න විදියක් නැතුව. තමන්ගෙ පදවි, තානාන්තර එක්ක ඒ අපුල කතා එළියට හලාගන්න විදියක් නැතුව... උඩ බලාගෙන කෙල ගහගන්න තියෙන ලැජ්ජාවට... මිනිස්සු ඇත්ත කතා කරන තාක් සමාජය බොරුවෙන් වැහිලා බොරුවෙන් ඔප්නැංවිලා තියෙනවා.
මිනිස්සු වැඩිහරියක් කරන්නෙ බොරුව. ඒක තමා මේ සමාජෙ නඩත්තු වෙන විදිය.
අපේ අයද පිට අයද කියලා නෑ. අපේද පිටද කියලා තීරණය වෙන්නෙ අවංකභාවය මත.
මං දන්නවා දුක් විඳින උගත් පාන්තික දරු කැළතක්ම... දෙමාපියන්ගේ වරදින්... දරුවො පව්... එහෙම දෙමව්පියන්ට දාව උපදින ඔයා, මම, අපි වගේ දරුවො...
ඒත් ඒක තමා මේ ලෝකෙ ස්වභාවය. හැම මිනිහෙක්ටම මොකක්හරි අඩුවක් තියෙනවා. ඒකම තමා හයියක් කරගන්න ඕනෙත්. අපි ආවෙ තනියම, අපි යන්නෙත් තනියම. අතරමැද්දෙ අම්මා තාත්තා නොවයි මොන ජගතා මුණගැහුණත් ඒ හැම කෙනාම කොයි මොහොතෙහරි වීරයාගෙ ඉඳලා ද්රෝහියා දක්වාම විචලනය වෙනවා. ඉතින් හිත්වලින් අල්ලගෙන තද කරගෙන ඇද බැඳගෙන තව කොහේ යන්නද අපි?
මේක තනි ගමනක්... නිදහස් හුළඟ වගේ යා යුතු... කිසිම දෙයක් හිමි නැති... ඒ නිසාම කිසිම දෙයක් අහිමි වෙන්නෙත් නැති...
හුස්ම ගන්න...
නිදහස් වෙන්න...කවුරුවත් ඔයාගෙ නෙවෙයි, කිසිම දේකුත් ඔයාගෙ නෙවෙයි... මගෙත් නෙවෙයි... අපෙත් නෙවෙයි...!
-දොන් ද සිල්වා-
14/06/2023
