2020 දෙසැම්බර් 24 ලියපු සටහනක් අායෙ අවුරුදු තුනකට පස්සෙ 2023 දෙසැම්බර් 24 මගේ ඇස්වලට අහුවෙද්දි මගේ ආත්මයේ ආදරණීයම කොටස ඇයත් සමඟම අතුරුදන් වෙලා ගිහින්. ජීවිතේ එකම එක වතාවක් හමුවෙලා අහිමිවෙලා ගිය අමතක කළ නොහැකි ප්‍රේමිය. මගේ ආත්මය උමතු කළ ඇගේ සුන්දර වදන්... හිරිමල් අවධියේදී මට කාන්තාවකගේ ප්‍රේමයේ හැඩය ගැන වැටහීමක් තිබුණේ නෑ. මං හිතන් හිටියේ ඕනම කාන්තාවක් සතුව එවන් සුන්දර දෙබස් ඇති කියා. එය මගේ ජීවිතයේ මට සිදුවූ විශාලතම වැරැද්ද.
මට එවන් සුන්දර දෙබස් ගොඩනගන්නියක් මගේ ජීවිතයේ නැවත කිසි දිනෙක හමුවුණේ නෑ. මගේ හදවතේ සුන්දරම කොටස රැගෙන එකී ප්‍රේමය මිහිදන්ව ගියා. දැන් මට ඉතිරි මෙපමණයි. මගේ ආත්මයේ ප්‍රේමණීයම අඩ මගේ අාත්මයේ ස්ථිර හිඩැසක් ඉතිරි කොට මා හැර ගොස් සදහටම අැගේ සොහොන මත වැතිරී වැලපෙනු ඇති.
"2020/12/24
(ස්) මරණඔයත් මගේ වයසෙමයි කියන එක මට අමතකම වෙලා තිබ්බ දෙයක්. උදේ පාන්දර නැගිටලා; අද මට උයන් යන්න ඕන කියලා අම්මටත් කියලා; හාල්මැස්සො, හතු මාළු, අඹ එක්ක ඔයා ඔතාගෙන එන බත් එක මට අනලා කැව්වෙ මොන තරම් ආදරේකින් වෙන්න අැතිද? මට දුකක් නෑ. ඒත් මේ හීතලේ මට ඒ මතකය පුදුම රස්නෙට, සුවදායක විදියට දැනෙනවා. හැඬුම්බර වුණොත් වෙන්නෙ අන්තිමටනෙ කියලා හිතාගෙන මං ඒ හැමදේටම මතක් වෙන්න ඉඩ අරිනවා.
"නාරං තිබ්බෙ නැති නිසා දෙහි එකක් හදන් ආවා" බත් කවලා ඉවර වෙලා ඔයා මගේ අතින් බෝතලේ තියන ගමන් ආදරෙන් පිරිච්ච ඇස්වලින් මගේ ඇස් දිහා බලලා එහෙම කියනවා. ඒක පුදුම ආදරයක්... ඒ ආදරේ ගැන මං එදත් පුදුම වුණා. ඊටත් වඩා මං ඒ ආදරේ ගැන අද වෙද්දි පුදුම වෙනවා.
එහෙම කැපවෙන ආදරණීය හිතක් ඔයාගෙන් හැර මං වෙන කොහෙන්වත් දකින එකක් නැති වෙයිද?පන්තිය අතරතුර වැරදිලාවත් බඩගිනියි වගේ කියවුණොත් ඔයා කඩේට දුවන්නෙ අම්මෙක් ළමයෙක් වෙනුවෙන් නැහෙන වේගෙකින්. කෑමට වංචා කරන මගේ නරක පුරුද්දක් වුණා. එහෙව් මගේ පුංචි ආසාවක් තේරුණත් ඔයා ඒක ඉෂ්ඨ කළේ අනිත් මොන වැඩෙත් පැත්තක දාලා. "මං අනුභව කරන්නෙ සතුට" ඔයාගෙ මූණ දිහා බලන් මං හිනාවෙලා හැමදාම කිව්වෙ එහෙම.