හැම පුංචි ජයග්‍රහණයකදීම මට විදුලියක වේගෙන් මතක් වෙන්නේ අම්මාව. අම්මාව මතක් වෙලා මූණට හිනාවක් එද්දිම, අම්මාට දුවගෙන ගිහින් උඩ පැන පැන මේ කතාව කියන්න ඕන කියලා හිතෙද්දිම, අම්මාට මේ කිසිදෙයක් කියන්න විදියක් නෑ කියලා ආයෙම මට මතක් වෙනවා. මං මහ ගෙදර ගේට්ටුව අරිද්දි දෙවෙනි අක්කා එයාගෙ ළමයි දෙන්නාවත් අතින් ඇදගෙන සාලෙ මැද්දෙන් දුවන් ගිහින් කුස්සියේ දොරෙන් එළියට පනින හැටි මට මතක් වෙනවා. කුස්සියේ එළිපත්තෙ ඉඳගෙන මට ගෙදරින් පැනලා දුවන්න හිතෙනකන්ම කුටු කුටු ගගා බනින හැටි මට මතක් වෙනවා.
"ඔය පේනවානෙ. ඔය එකේකා වගේ කමකට නැති එවුන් වගේ හැදෙන්නෙ නැතුව හරියට හැදියන්."
මං දන්නවා ඩිනුලට බනින මුවාවෙන් ඔය සේරම කියන්නෙ මට කියලා. පොඩි පුතාව බලන්න කොච්චර ආසාවෙන් ගියත් ඉරේෂා කරන්නේ ළමයාව හංගන එක. මං දන්නවා එයා හොඳ අම්මා කෙනෙක් වෙන්න ඇති. ඒත් එයා කිසිම දවසක හොඳ සහෝදරියක් වුණේ නෑ. ඊටත් මෙහා හිතක් පපුවක් තියෙන මනුස්සයෙක් විදියටවත් හැසිරුණේ නෑ. ඔය දේපළ උමතුව වැඩිපුරම තිබුණේ එයාට. හොරණ ඉඩමකුත් තියන්, පාදමත් හතර කණුත් දක්වා නංවපු ගේ සැකිල්ලක් තියෙන ඉඩමකුත් ගනේමුල්ලෙ තියන්, අපේ වත්තේ එයාට අයිති කොටහත් තියන් ඒත් ගනේමුල්ලේ ඉඩම ගැන තාත්තාට කියන්න එපා කියලා අම්මාටයි මටයිත් කියලා වෙනම ගේමක් ගැහුවේ ඒ උන්දැ තමා. අපි නිසා හොඳයි ඕවා තාත්තාට නොකියා හිටියා...
සමහර විට අඹ යහළුවෝ කතාවේ නපුරු මෛත්‍රී පවා ඊට වඩා ලක්ෂ වාරයක් කරුණාවන්ත ඇති. සමහර විට නපුරු මෛත්‍රී වුණත් කැමති වෙන එකක් නෑ ඒ වගේ චරිතයක් එයාට සමාන කරන්න හදනවාට. එහෙම කරන්න ගියොත් නම් සමහර විට කතාවට නපුරු වුණ නපුරු මෛත්‍රී පවා ඒ ගැන අමනාප වෙලා ඇත්තටම නපුරු වෙන්නත් බැරි නෑ.
මට මතක් වුණේ කැම්පස් එකේ කසුන් වතාවක් යාලුවන්ගේ අත් බලලා සාස්තර කියන වෙලාවක මගේ අතත් බලලා කියපු සාස්තරේ. මගේ අත බලලා කසුන්ගේ මූණ බෙරි වුණා. මං පුදුම වෙලා කුතුහලය පුරෝගෙන ඇයි කියලා ඇහුවාම කසුන් දෙපැත්තට ඔලුව වැනුවා. අඩුම ගානේ මට සහෝදරියො ඉන්නවාද, ඒ කී දෙනෙක්ද කියලාවත් ඒ වෙද්දි නොදන්න කසුන් ඒ විදියෙ සාස්තරයක් මට කියයි කියලා මම හීනෙකින්වත් විශ්වාස කළේ නෑ.