"මා මිය යා යුතුය..."
ජීවිතයේ ස්ථිරම අධිෂ්ඨානය හිතට ගනිමින් දෑස් පියාගනිමින් මම මගේ හිස් ශරීරයට බරැති ආත්මය එල්ලා අන්ධකාරය මැදින් පතුළත නොපෙනෙන ගං දියට තල්ලු කර හරිමි. ආත්මීය වේදනාවෙන් බර වූ ශරීරය වේගයෙන් වීසි වී ගොස් ගනාන්ධකාරයටම මුහු වූ පැහැයෙන් යුත් දිය කඳ මත පතිත වී අතුරුදන් වී යාමට මොහොතකට ප්රථමයෙන් මට නුඹේ වේදනාත්මක විලාපය ඇසෙන්නට පටන් ගනී. එය උහුලා දරා ගනු නොහැකිව, මනසින් බලා ඉනු නොහැකිව මම යළිත් මගේ ආත්මය ආලෝක වෙතට හරවා ගනිමි. මා උසුලා දරා සිටින සම් මස් ලේ නහර සියල්ල මා හට සිය කුස තුළදී දායාද කළ ගැහැනිය මගේ මරණයට මා තල්ලු කරමින් සිටින විට නුඹ මහත් ඵල මහානිසංසයක්ව සපැමිණ මා සියලු වේදනාවන්ගෙන් මුදවා ගනිමින් නුඹේ තුරුළ කරා මා කැඳවයි.
මට උපත දුන් ගැහැනිය මා මරණය කරා මෙහෙයවීමත්, ජීවිතයේ හිරිමල් වියේදී මගේ ඇස ගැසුණු නන්නාඳුනන්නිය නුඹ, නුඹ මට යළිත් මා කරා ජීවිතය කැඳවීමත්, ජීවිතය කොයිතරම් නම් පුදුමාකාරදැයි සිතීමට මට බල කරයි. කියවා අවසන් කර යළිත් අතට නොගන්නා ලද පුස්තකයන්හි පිටු මම මනසින් මෙනෙහි කරමි.
නුඹේ මතකය නමැති එක් මාත්රාවකින්ම මගේ හදවත සුවපත් වීම කෙතරම් නම් විශ්මයජනක ප්රාතිහාර්යයක් වන්නේද? හදවතින් නැගෙන වදන් ඉබේම කොළයක් මත අකුරු බවට පත්වන්නේ නම් එ්වා සියල්ලම සුන්දර දෙබස් ලෙස මගේ හඬින්ම යළිත් මට කියවිය හැකි වනු ඇත.
"මට මතකයි ඔයා ලියුමක් ලියලා ඉල්ලුවා. මගේ අකුරෙන්... ඔයාට ලියුම් ලියන්න සී ආර් පොතක් ගන්න ඕනෙ. ඒත් ඒ පොත ගන්නකන් ලියුමක් නොලියා ඉන්නයැ? මට එච්චර කල් ඉවසන්න බැරිවෙයි, ඒ ඉල්ලීම ඉෂ්ඨ නොකර... මට ඔයාට කියන්න හුඟක් දේවල් තියෙනවා. ඒත් ඒ හුඟක් දේවල් ටික එකපාර මතක් වෙද්දිම මට දැනෙනවා ඔයා බස් එකේ මට වඩා පාත් වෙලා නැවිලා මගේ උරහිසට පහතින් ඇඟට බර දීලා ඇලවෙලා ඉන්න ගමන් ඔලුව උස්සලා හීතලට මගේ දිහා බලන් ඉන්න විදිය. ඔයාගෙ ඇස්වල ආලිංගනය පිරිලා. ඒ ආලිංගනයේ තියෙන්නෙ පුදුමාකාර හීතලක්. ඒ හීතලට හෙමීට පිච්චෙන්න කලින්ම, ඔය ඇස්වලට ඒ බැල්ම උනන හදවතේ ආදර උල්පත මට මතක් වෙනවා. මේ තත්පරේ මට ඕනෙ ඒ දිහා බලන් ඉන්න. ඔයාගෙ ඇස් මගේ ඇස්වලම පැටලිලා. මං කොහොමද මගේ ඇස්වලට කඳුළු පිරෙන එක නවත්තගන්නෙ.