සසර සැරි

14 2 4
                                    

හීනවලදි ඒක හීනයක් කියලා කවදාවත් නොහිතෙන්නෙ ඇයි? සමහර වෙලාවට ඒක හීනයක් කියලා තේරුණ වෙලාවටත් ඒ හීනෙ ඉන්න කාවහරි බේරගන්න හදන්නෙ මොන තරම් නම් අවංක හැඟීමකින්ද? හීනවලින් ඇහැ⁣රෙන හැම මිනිහෙක්ටම ඇත්ත ජීවිතයක් තියෙනවා මූණ දෙන්න. නිදාගත්තාම පේන හීනවලට අමතරව මිනිස්සු අවදියෙනුත් හීන දකින තැන් කොච්චරද? හරියට සිනමා පටයකින් ජීවිතේ කොටසක් ⁣ආයෙ කියවගන්න හදනවා වගේ...? බාගදා හැම සිනමා පටයකම අපිට අයිති කොටසක් තියෙනවා. මුළු සිනමා පටයම අමතක වුණත් ඒ කොටස විතරක් අපිට මතක හිටිනවා. බැඳගෙන ඉන්න කෙස් වැටිය ලෙහන්න කියලා මං කියන්න පුරුදු වුණ තැන... එච්චර තදට කාවැදුණු උපමානයන්ගෙන් ගැලවිලා විසික් වෙලා ආයෙමත් උමතුවෙන් ආදරේ කරන්න පුළුවන් වුණ එකම කොයි තරම් නම් ජයග්‍රහණයක්ද?

හුඟක් මළගිය මිනිස්සු තවම ජීවතුන් අතර. උන්නත් මළත් අපිට නොදැනෙන තරමට දුරස්ථව. මරණය කියන්නෙ කොහොමත් මගේ සීමාවෙ මට නොවැටහෙන දෙයක්. මට දැනෙනවා මිනිස්සු මැරෙන්නෙ මිනිස්සුන්ව අපිට අමතක වෙන දවසට කියලා.

"ඔයා ඇයි තාම පරණ දේවල් මතක් කරන්නෙ?" ඔයා එහෙම අහද්දි ඉබේටම මට ඔයාගෙ මූණ දිහා බැලෙනවා. මගේ මූණෙන් හයිය තියෙන මිනිහෙක් පේන්නෙ නැද්ද කියලා ඔයාගෙන් අහන්න හිතුණත් මං ඒක වළක්වගන්නවා.

"මට පරණ දේවල් මතක් කරන්න පුළුවන්, හැබැයි කිසිම වේදනාවක් නැතුව. මට මතක් වෙන දේවල් ඒ මතක් වෙන වෙලාවට කිසිම වේදනාවක් නොගෙන මතක් කරලා ආයෙම අමතක කරලා දානවා. මට ඉන්න තරම් සුව පහසු ඉඩකඩක් නෙවෙයි අතීතය කියන්නෙ. මං ඉන්නෙ ලස්සන වර්තමානයක. මේ මොහොතෙ, ඔයා ගාව. ඔයා දන්නවාද ඔයාව මට කොයි තරම් සුව පහසුවට දැනෙනවද කියලා? මං ඉන්නෙ මගේ වැඩක් බලාගෙන, අරුමෝසම් ලෝකෙන් ටිකක් අයින් වෙලා. නිස්කලංකව. මේ ලෝකෙ ඇතුළෙ මං හෙව්ව ලස්සනම ඉඩකඩ මට වෙන්වෙලා තියෙනවා." මං ඔයාගෙ ඇස් දිහා බලාගෙන හිනාවෙන ගමන් ලොකු හුස්මක් ගන්නවා.

"ජීවිතේ කියන්නෙ මේකට නෙවෙයිද? රත්වෙලා කලබලේ දිව්ව ගමන් බිමන් සේරම අතෑරලා පොඩ්ඩක් එක්තැන් වෙලා නිවාඩු පාඩුවෙ බලන් ඉද්දි මොන තරම් නම් සැනසීමක් දැනෙනවාද? ඉහමොළ රත් කරන්න තරම් සාපකාරී හයියක් තිබ්බ අහස උසට දුවන බලාපොරොත්තුවල ගින්න තව දුරටත් මාව පුච්චන්නෙ නෑ කියලා මට දැනෙනවා. මං යන්නෙ වේගෙන් වෙනස් වෙන පාරක. ඊළඟ අඩියෙ මොකක් වෙයිද කියලා කිසිම නිශ්චිතතාවක් නැති ගමනක. කලින් වගේ වෙල් ප්ලෑන්ඩ් ගමනකට වඩා මේක ඒ මොහොතෙ බැට් කරන ක්‍රිකට් මැච් එකක් වගේ. හුරුපුරුදු පිතිකාරයා අසනීප වුණාම "මචං උඹ පලයන් කියලා" තණතිල්ල මැද්දට එකපාරටම තල්ලු කරලා දැම්මා වගේ. පන්දු යවන්නෙක්ට පිත්ත භාර දුන්නා වගේ. ඒත් මට ඇඹරි ඇඹරි ඉන්න වෙලාවක් නෙවෙයි මේ.

දර්යාWhere stories live. Discover now