සමහර දේවල් සිද්ධ වෙන වෙලාවෙම ලියන්න ඕන. එහෙම නොවුණොත් ඒ දේවල්වල බර නොදැනි යන්න පුලුවන්... එහෙම නැත්නම් කාලයත් එක්ක ඒ ලස්සන මතක පඬු පැහැ ගැහෙන්න පුළුවන්. හරියට අද තකහනියේ මිලදී ගත්ත සුදු බොත්තම් තියෙන අත් දිග සුදු කමිසය වගේ... ඒකත් කවදාහරි පඬු පැහැ ගැහෙයි. ඒත් එතකන්, එතකන් මම ඒක අඳින්න ඕන. ඊට පස්සෙ මම තව සුදු කමිසයක් මිලට ගන්න ඕන. මේ ගමන සුදු කමිසයකින් හැර වෙන කිසිම ඇඳුමකින් නවතින්න බෑ...
"මල්ලි... ඔයා කෝට්ර්ස් අඳින්නෙ සුදු බොත්තම් තියෙන කමිස නේද? කළු බොත්තම් ඒවා හරියන්නෙ නෑ නේද?
"නෑ ... සුදු බොත්තම් ඒවා තමා අඳින්නෙ..."
"ආ හරි... තැන්ක්යූ..."
මම රමේෂ්ට ස්තූතියවත් නිසියාකාරව පුද කළේ නැහැ නොවේදැයි මට මතක් වන්නේ ඇමතුම විසන්ධි කිරීමෙන්ද අනතුරුවය. ආදරණීය සහෝදරයා, ඔහු හෙට තේරුම් ගනීවි මගේ හදිසියට හේතුව. බොහෝ විට හෙට මගේ ටයි පටිය පළඳන්න වන්නේත් ඔහුටය...
කඩසාප්පු වසාලන යාමයේ කොටුවේ රෙදිපිළි වෙළඳසල් පිරුණු වීදි අතර කැරකෙමින්, මා සිටියේ ඉමහත් කලබලයෙන්ය. කෙසේ නමුත් මා කමිසය තෝරන්ට වූයේ මගේ ඇස ගැසුණු පළවෙනි සාප්පුවෙන්මය. කමිසවල ගණන් අසමින් කඩෙන් කඩයට රස්තියාදු වීමට මට කිසිසේත්ම සිත් දෙන්නේ නැත.
එසේ හෙයින් ලත් පළමු අවසරයෙන්ම කමිසයක් තෝරා ගැනීම මගේ යටි සිතේ අභිප්රාය වන්නට ඇත.
"සුදු බොත්තම් තියෙන කමිසයක් දෙන්න අංකල්... උසාවියට අඳින්න...!"
"ආ උසාවියටද? එහෙනම් මේවා හරියන්නෑනෙ... ඉන්ඩකො එකක් ගේන්නම්..."
පවසන සැණෙන් තේරීම දෝත මතය. කමිසය ඇඟ ලා ගනිමින් එහි වැඩි කොටස කපා මස්සවා ගැනීමට, කමිසය තෝරා ගෙන දුන් වියපත් සාප්පු සේවකයා සමඟම ඒ මේ අත දුවමින්...
මා හෙට දිනට සූදානම් වෙමින් සිටියේ හදිසියේ ස්වයංවරය ලත් ගැටයෙකු විලාසයෙනි.
" මේ වටේ මැහුම කපන්නම් නේද? නැත්නම් ගුටි ගැහෙනවානෙ..." සන්නාලියා එසේ පවසත්ම මම ද හිස සලා එය අනුමත කරමි.