"ජීවිතේ මාර පුදුමයි නේද?"
එකපාරටම ඒ විදියෙ කෙටි පණිවිඩයක් මේ පැත්තෙන් ඇගේ දිහාවට විසික් වෙනවා. ඒ පණිවිඩය ග්‍රාහකයාට සේන්දු වන මිලි තත්පර ගාණට මගේ හිතට පහළ වෙන මෙට්‍රික් ටොන් ගාණක බර සිතිවිලි කන්දරාව... හරියට කරදියාන කුණු කන්ද වගේ විසාලයි... මගේ වාසනාවට ඇය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක්. එහෙම නොවෙන්න මම මේ තරම් දුර ගමනක්, මේ තරම් අධිෂ්ඨානයකින් යන්න පටන් අරගෙන තියෙයිද? නෑ, මං හිතන්නෑ... කොච්චර හයිය මිනිහෙක්ට වුණත් හෙවනැල්ලක අවශ්‍යතාවෙ තදින් දැනෙන මොහොතක් එන්න බැරිද? මං ඒ තරම් මහා විසාල මනුස්සයෙක් නොවෙන්න පුළුවන් කියලා මං මාව පහතට හෙළා ගන්නෙ මොකටද? මං පුංචි ශරීරයක් තියෙන, පුංචි දෙපාවලින් දුර ගමනක් ඇවිදින, හිටපු ගමන් දුවන, කලාතුරකින් හොම්බෙන් යන,එසැණින් දණබඩගාලා නැගිටගන්න, බරසාර බව ලෝකෙටම නොදැනෙන විදියට හරිම සරලව, සුන්දරව හිනාවෙන මහා පුදුමාකාර මිනිහෙක් බව මටම නොපෙනෙනවා නම් මං මොන තරම් අන්ධ මිනිහෙක් වෙන්න පුළුවන්ද?
"මීතොටමුල්ල පෙරලිලා මිනිස්සු මැරුණා කියන එක පුදුමයක් නෙවෙයි" අඳුර කපාගෙන, ප්‍රවේසම් සහිත වේගයකින් ඉදිරියට ඇදෙන ත්රීරෝද රථයේ මගේ සුරත උණුසුම් වන විදියට මට සමීපව හිඳගත් ඇය දිලිසෙන ඇස්වලින් මගේ දිහා බලාගෙන ඒ විදියට කියද්දි මගේ හිතට ආවෙම කරදියානත් කවදාහරි පෙරළෙයිද කියලා මහ නරක, නපුරු, බය හිතෙන සිතිවිල්ලක්. කරදියාන තියෙන්නෙ නම් දුර ඈතක. ඒත් අපි නන්නාඳුනන මිනිස්සුන්ගෙ ජීවිතවලට පවා ආදරේ කරන්න ඉගෙනගත්ත නිසා වෙන්නැති මීතොටමුල්ල ගැන මතක් කරද්දි කරදියාන පාමුල ඉන්න මිනිස්සු ගැන මේ තරම් උණුවෙන හැඟීමක් පහළ වෙන්නෙ.
මට තරහා ඇතිවෙන්නෙ රජය ගැන. හරියට මගේ හදවත කරදියානක් කරපු මහගෙදර මතක් වෙනවා වගේම පිළිකුල් සහගත හැඟීමකින්. අනේ මන්දා මේ පාලකයන්ට කිසිම වගකීමක් නැති හැටි. මිනිස්සු ඉන්න තැන්වලට කුණු ගෙනත් අතාරින්නෙ කිසිම සැලැස්මක් නැතුව. මුන් මෙච්චර කල් රට පාලනය කරනවා ඒත් කුණු දාගන්න ක්‍රමයක් හදාගන්න බැරි තරම් අසමත් හැටි. හරියට අපේ පවුල්වල වගකීමක් නැති වැඩිහිටියො වගේ. දරුවො ඔහේ ජාතක කරගෙන තමන්ගේ සේරම කුණු කන්දල් දරුවන්ගෙ කර පිටින් යවන්න හදනවා වගේ. ඒ සංසිද්ධි දෙකම හරි ලස්සනට ගැලපිලා යනවා. නිදහස ලබපු දා ඉඳලා ආණ්ඩුවට මේ වෙද්දි වයස කීයද? අපේ මහ උන්දැලාගේ වයසට යන්තම් ටිකක් වැඩි ඇති... අර පනහයි හැටයි ගගා නිදහස් දින සමරනවා විතරයි. ඉලක්කම්වලින් වයස යනවා විතරයි. හිටියාට වැඩකුත් නෑ, පරිණත වීමකුත් නෑ, අන්තිමට කරපු දේකුත් නෑ.