"කොහොමද ඔහොම ලියන්නෙ?"
"කොහොමද?"
"ඔය විදියට...
ඇත්තම දෙබස්, කතාවක් විදියට...""ඉතින් ඒ කතාවක් නෙවෙයිනෙ. ඒ ඇත්තනෙ"
"ඒ වුණාට ඒ ලියන විදිය. මට නම් හිතාගන්නවත් බෑ."
"මොනවද හිතාගන්න බැරි?"
"ඔයා මාව අඬවනවා..."
"මගේ අතින් මුකුත් දුක හිතෙන දෙයක් ලියවිලාද?"
"නැහැ"
"එහෙනම්?"
"ආදරේට..."
"ඉතින් ඇයි ආදරේ නම් අඬන්නෙ?"
"ඔයා තාම දන්නෙ නැහැනෙ. මට තදට ආදරේ දැනුණාම මට ඇඬෙනවා."
"ඒ ඇයි ඉතින්?"
"ලෝබකමට මැණික..."
"මං දන්නවා ඔයා මට ආදරෙයි කියලා."
"කෝ මට කවි?"
"දැන් කවි ලියන්න හිතෙන්නෑ"
"ඒ අැයි?"
නුඹ විමසා සිටියේ මා මෙතක් කල් පිළිතුරු දීමට බලා සිටි ප්රශ්නයකි. මා කවි නොලියන්නේ ජීවිතේ අවස්ථා දෙකකදී පමණි. නුඹ එය නොදන්නා බව මම දනිමි. ආත්මය නිවී පවතින ඇසිල්ලක භවනානුයෝගීව සිටිනවා විනා මා කවි පබඳින්නේ නැත. එසේම, ආත්මය දරා ගත හැකි සීමාවෙන් එහාවට කඩා වැටුණු, සියල්ලක් බිඳී ගිය අවස්ථාවකදීද මගේ අතින් කවි ලියැවෙන්නේ නැත. සියල්ල කලකිරී, ජීවිතය අතහැරී ගිය එවන් වේදනාකාරී නිමේෂයන් මා මුහුණ දී ඇත්නම් ඒ ගැණිය හැකි තරම් අල්ප ගණනකි. මතකයේ ඇති අන්දමින් ඒ එකම එක අවස්ථාවක් පමණෙකි. ඉදින් මා කවි නොලියූ කිසියම්ම අවධියක් වේ නම්, ඒ මා නිස්කාන්සුවේ සුව විඳි කාර්තුවක්ම වන්නේය.
වර්ෂාවට නිදි සුව විඳින්නා අලස මගියෙකු මෙන් මම නුඹේ තුරුල්ලේ නිදි සුව විඳිමිනි. හෙට අලුයම කඩා පාත් වීමට නියමිත හෙණ ගෙඩිය ගැන කිසිවක්ම නොදනිමිනි. අලුයම භාගය පසු වී නුඹේ තුරුළේම අවදි වන තෙක්ම රැය නිසන්සලව ගෙවී යයි. සියල්ලක් සන්සුන්ය. එහෙත් පිටින් පෙනෙන තරම් කිසිවක්ම සන්සුන් නැත. පාප කරමිත ප්රේම වෘත්තාන්තයන්හි අඳුරු සෙවණැලි ආත්ම නුඹේත් මගේත් තුරුළට ඊර්ෂ්යාපරවශවය.
