උඹව අඳුරගත්ත ගමන්ම මම කතාව පටන්ගත්තේ අන්තර්ජාල වෙළඳාම්වලට අදාළ ඇප් මොනවද කියලා අහලා. වෙලාව කැප කරගෙන, ලින්ක් එවලා පාඩමක් උගන්නනවා වගේ ඒ සියල්ල ලෝබ නැතුව කියාදෙද්දි මං කල්පනා කළේ මේ නම් මහා පුදුම මනුස්සයෙක්නේ කියලා. කාලෙකින් මං දෙයක් කියා දෙනවා වගේ මට දෙයක් කියාදෙන මනුස්සයෙක් මට හමුවුණ එක ගැන පුදුම නොහිතේවිද? කතාව එතනින් ඉවර වුණේ උඹ අවංක මනුස්සයෙක් කියන හැඟීම හිතේ ඉතුරු කරලා. ආයෙම දෛවය අපිව අහම්බෙන් කීප වතාවක්ම මුණගස්වනවා. හැමදාම අවංකව තොරතුරු හුවමාරුව විතරක් සිද්ධ වෙනවා. මිත්රත්වයක් නඩත්තු කරන්න අපිට වුවමනාවක් තිබුණේ නැති නිසාම ඒ හැම හමුවක්ම හමුවෙන් පස්සේ හරි සන්සුන් විදියට කෙලවර වෙනවා.
එකම මාවතක ගමන් කරමින් හිටපු නිසා අපි ආයේම මුණගැහෙනවා. කතාවේ හෘදයාංගම කොටස පටන් ගන්නේ එතනින්.
මං අද මේක ලිව්වේ නැත්නම් මට මේක ලියන්න මීට වඩා හොඳ දවසක් තවත් තියෙන එකක් නෑ. මම මැරෙන්න කලින්, උඹ මැරෙන්න කලින්, අපි මැරෙන්න කලින් උඹ දැනගන්න ඕනෙ මං උඹට කොච්චර ආදරෙයිද කියලා. එච්චර දෙයක් ලියන්න උඹ ඉපදුණ අද දවස තරම් හොඳ දවසක් තව තියෙයිද?
මහන්සි වෙලා ගෙදර එනකොට සමහර වෙලාවට කුස්සිය පිරෙන්න රස කෑම. මං කැමති විදියට... වැඩ වැඩි වෙලාවට හිටපු ගමන් අතටම එන රසම රස පලතුරු බීම එක. අසනීප දවසට හරි වෙලාවට නැගිට්ටවලා අතට බේතුත් දීලා වතුර කෝප්පෙත් දීලා දක්වන සැලකිලි... කොහේහරි යන්න වුවමනා නම් යමං මං ගිහින් දාන්නම් කියන්න තරම් හොඳ හිත. මං වෙනුවෙන් පාරවල්වල පැය ගණන් කාල් ගාලා ඇති කටු කාගෙන. හුඟක් දවසට කිසිම තරහක් නැතුව ඉවසගෙන. කලාතුරකින් අසනීප අමාරු තියෙන දවසක නම් වෙච්ච රස්තියාදුව ගැන යකා වැහීගෙන වුණත්, දත් මිටි කකා ඉවසගෙන. විරිත්තගෙන එද්දි මගේ හොම්බට දෙක තුනක් ඇනගන්න විදියක් නැතිකමට, පුවක් මූණ බුම්මගෙන... අම්මපා ආදරේ හිතෙන්නැද්ද ෆිල්ම්වල ප්රධාන නළුවා එක්කම ඉන්න යාලුවා වගේම යාලුවෙක් මං නළු බට්ටාටත් හම්බුණාම.
කවුද එච්චර එහෙම කරන්නෙ? යාලුවෙක් වෙනුවෙන්? එහෙම කැපවෙන්න මොන තරම් අපරිමාණ හදවතක් තියෙන්න ඕනෙද මිනිහෙක්ට?