මං දන්නෑ කෑම ගැලපෙන්න උයන්න...
හැබැයි මම දන්නවා ඉස්සරට වැඩිය හොඳට , කන්න පුළුවන් විදියට කෑම උයන්න...
හිතුවම පුදුම වැඩක් තමයි. ගෙදරින් එද්දි බතක්වත් ලිපේ තියාගන්න දැනන් හිටියෙ නෑ.
අම්මා උයන හොදි, මට වුවමනා සැරට එඩිට් කරගත්තා මිසක, ගෙදරදි ව්යාංජන හදලා තිබ්බෙත් නෑ. හොදි එඩිට් කරන එක මහ වැඩක්යැ. මිරිස් කුඩු බෝතලේ යහමින් හලන එක මිසක...ගෙදරින් ආව දවසේ ඉඳලා මං හෙව්වේ අම්මාගෙ කෑමවල රහ. ගෙදර ඉන්න කාලෙ අම්මා උයද්දි පහේ දාන විදිය කිසිම දවසක සැලකිල්ලෙන් බලන් ඉඳලා නෑ. ඉතින් අම්මාගෙ කෑමවල රහ මෙහෙමයි කියලා අතින් පයින්, ගොලු බාසාවෙන් කොච්චරක් කියන්න උත්සාහ කළත් මට ඒ වැඩේ කරගන්න බැරි වුණා.
මට මතක අම්මා හරි ලේසියට දඩබඩ ගාලා පහේ ජාති අනන් මනන් සේරම දාලා කිරිත් දාලා හොද්ද ලිපේ තියනවා වගේ සිද්ධියක් විතරයි. ඒත් ඉතින් හැම හොද්දම එහෙම හදන්නෙ නෑ නෙව.
අන්තිමට මට තිබ්බෙ එකම එක විකල්පයයි.
අත්හදා බලන එක.
මාස ගාණක් තිස්සෙ වරද්ද වරද්ද පහේ දදා අම්මාගෙ රහට කෑම උයාගන්න උත්සාහ කරපු වාර අනන්තයි. හැම උත්සාහයක්ම පපුව කීරිගැහෙන වේදනාවකින් මාව ඇඳට කොටු කළේ ගැඹුරු කල්පනා ප්රපාතෙකට තුවාල වෙන්නම මාව තල්ලු කරන ගමන්... හැම අසාර්ථක උත්සාහක්ම අම්මාගෙ මතකය මගෙන් තවත් ඈතට උදුරන් ගියා වගේ තිබුණා.
නෝනාට තේරෙන බාසාවෙන් නොතේරෙන්න කියද්දි එයා මහන්සි වෙලා ව්යාංජන කීපයක්ම අම්මගේ රහට උයලා දුන්නා. ඒත් ඒ යාන්තම් කියාගන්න පුළුවන් වෙච්ච ඒවා. මගේ අම්මාගෙ කෑම කිසිම දවසක කාලා නැති අපේ නෝනා කොහොමද මගේ ගොලු බාසාවෙන් හොද්දෙ රහ හිතාගන්නෙ? ඒත් කොහොමින් කොහොමහරි මගේ ගොලු හදවත කියවගෙන උන්දෑ ව්යංජන කීපයක්ම හිතේ හැටියට කන්න හදලා දීලා තියෙනවා.
අම්මාගෙ මං ආසම හාල්මැස්සො හොද්ද, සැමන් හොද්ද, රෑට උයන පරිප්පු හොද්ද, පරිප්පු මිරිස, කෙහෙල්මුව මාලුව, සෝයාමීට් හොද්ද ඕන්න දැන් ඒ රහටම මගේ අතින් හදාගන්න මං දන්නවා. මාස ගාණක් තිස්සේ කරපු උත්සාහයන් කීපෙකටම පස්සෙ.