ඔයා එක හුස්මට කියවගෙන යද්දි මම එක හුස්මට ලියාගෙන යනවා. සායනයේ එළියේ ඉන්න ඔයාට මම ටෙලිපති පණිවිඩ අටෝරාසියක් එවනවා. සේන්දු වන තත්පරවල වේගයට ඔයාට මුකුත් මගහැරෙයිද කියන බයෙන් ආයෙම හෙමීට හුස්මක් අරන් එක වරකට එක පණිවිඩය ගානේ යවන්න තරම් ඉවසිලිවන්ත වෙන්න මම උත්සාහ කරනවා. මට මාව ළඟා කරවන මාත්‍රා ගණන ගැන පුංචි පැහැදිලි කිරීමක් මට හීනයෙන් වගේ ඇහෙනවා. මං උත්සාහ කරන්නෙ මගේ අවධානය සම්පූර්ණයෙන්ම ඒ දේශනයට රඳවලා තියාගන්න. ඒ ගමන් පරිස්සමට එකින් එක ඒ පණිඩිය ටික ඔයා දිහාට ටෙලිපති කරලා එවන්න.
"රිපෝට්ස් ඔක්කොම නෝමල්... දැන් බලමු වැඩේ කෙරෙන විදිය. සතියකට සැරයක් ෆුල් ඩෝස් එක ගන්න එක තමයි වැඩියෙන්ම ඉෆෙක්ටිව්. ඒත් මුලින්ම අපි ටිකක් අඩු තැනක ඉඳලා පටන් ගමු. අපි මුල් මාස තුන ගමු මාසෙකට 1.25ක හාෆ් ඩෝස් එකක්... ඊට පස්සෙ අපි ෆුල් ඩෝස් එකකට යමු... යන්, මම නර්ස්ට කියන්නම්."
මම වෛද්‍යවරයා පසුපස පියවර තබන්නේ ඊළඟට සිදුවන්නට යන්නේ කුමක්දැයි පිළිබඳ දැනීමකින් නොවේ. මට සිතෙන්නේ මගේ සායන පොතේ යමක් ලිවීමට ඔහු මා ඇය වෙත කැඳවාගෙන යන බවකි. හෙදියගේ කාමරයේ දොර විවර කරන වෛද්‍යවරයා පවසන්නේ එකම දිනයක මා වැනි ප්‍රතිකාර ලබන්නන් කිහිප දෙනෙකු කැඳවන ලෙසයි. එසේ කිරීමෙන් ෆුල් ඩෝස් අපතේ යාම වළක්වා ගත හැකි බව ඔහු හෙදියට සිහිපත් කර සිටී.
"නර්ස් වැඩේ කරලා දෙයි." වෛද්‍යවරයා මා දෙස බලමින් පවසන විට මම හිස සලමි.
"මෙතනින් ඉඳගෙන ඉන්න කියන්නද නර්ස්?" එසේ අසන වෛද්‍යතුමා අසල ආසනය පෙන්වා එහි ඉඳගන්නැයි මට සන් කරයි. "තැන්ක්යූ ඩොක්ටර්" යැයි මා පවසත්ම ඔහු ප්‍රියජනක මුහුණක් මා වෙත දක්වා ඉනික්බිති ඔහුගේ කාමරය දෙසට අතුරුදන් වී යයි.
මොහොතක් කල්පනාවක නිමග්නව හිඳගෙන සිටින මා දෙසට හෙදිය ඇගේ කාමරයේ දොර විවර කර පැමිණෙමින් ඇයව අනුගමනය කරන්නැයි මට සන් කරයි. රුධිර සාම්පල රැස් කරගන්නා කාමරය අභියසට පැමිණෙන ඇය "ඔයා මෙතන ඉඳගෙන ඉන්න මං කතා කරනකන්" යැයි පවසා කාමරයේ දොර විවර කර ඒ තුළ සැඟව යයි. දොරෙන් දිස්වන සෙවණැලි ඡායා මට හඟවන්නේ ඇය එන්නතක් අතට ගනිමින් සූදානම් වන බවකි. කිසිවක් කල්පනා කිරීමට පෙර ඇය මා ඒ තුළට කැඳවයි. මම සිහිනයෙන් මෙන් දොර හැර ඇතුළට යත්ම ඇය මා වෙත ආසනයක් දක්වා සිටී.01/01/2022 ඇරඹි ගමනේ පළමු පියවර කරා මා කැඳවමින් 29/01/2022 දිනැතිව මගේ වමතෙහි මාංශ තුළට මගේ පළවෙනි ජීව පොද එන්නත් වී යයි. "අත පොඩ්ඩක් කරකව කරකව ඉන්න." ඇය එසේ පවසත්ම සහායක හෙදියද සාම්පල කාමරයට ප්රවිශ්ඨ වේ.