සම්මිශ්‍රණ...

6 0 0
                                    

කන්දක් නැග්ගොත් කොහේහරි තැනකදි පල්ලමකුත් දෘශ්‍යමාන වෙනවා. උප්පත්තිය ලබලා අවුරුද්දකට කිට්ටු කරන මගේ අලුත් ජීවිතේ දවස ගානෙ කඳු පල්ලම්වලින් පිරිලා. මට හිනාවෙන තත්පරෙන් අඬන්න සිද්ධ වෙනවා. අඬන තත්පරෙන් හිනාවෙන්න හේතු සකස් වෙනවා. මේ ජීවිතේ ඇතුළෙ එකම මූඩ් එකේ වැඩිකල් රඳාපවතින්න පුළුවන්කමක් නෑ. ඒත්⁣ මේ ගතිකත්වය මගේ මනස ස්ථාවර මට්ටමකට අරන් අැවිත්. දැන් මම හයියෙන් හිනාවෙන හෝ කෑගහලා අඬන මිනිහෙක් නෙවෙයි. මං හීන දැකපු මේ තලත්තෑනිකම, මේ පරිණතකම දිනාගන්න මට දරන්න වෙච්ච කාලයේ, අත්දැකීම් ප්‍රමාණයේ පිරිවැය ලැයිස්තුගත කරලා කියන එක දවස් ගණනක, සමහර විට මාස ගණනක වෙහෙසකර වැඩක්...

මට මතක හැමදේම මට අමතක වෙනවා. හිතාගන්න බැරි වේගෙකින් මගේ මනස විසින්ම හැමදේම මට අමතක කරවලා දානවා. දුක හිතෙන දේවල් නම් කොහොමත් අමතක වුණොදෙන්. සමහර විට මේ පොතේ සෝදුපත්වත් මම බලන එකක් නෑ. ඒකත් සමහර විට මගේ බිරිඳට කරන්න සිද්ධ වෙයි. අපි බඳින දවසට එළිදක්වන්න හිතන් ලියවෙන මේ ජීවන වෘත්තාන්තය, මැරෙන්න හිතෙන හැම මිනිහෙක්ටම ජීවත් වෙන්න හේතුවක් වේවා කියන ඒකායන බලාපොරොත්තුව විතරයි මගේ හිතේ තියෙන්නෙ.

ජීවිතේ සිනමා පටයක් නොවුණත් සිනමා පටවලට පාදක වෙන්නෙත් මේ හැබෑ ජීවිතේම කරුණු කාරණා නේද කියලා මට මතක් වෙනවා. සීතා රාමම් සිනමා පඨයට මං ඇගේ කනට කොඳුරපු දෙබසක් ඇතුල් වුණේ කොහොමද කියලා ඒ දෙබස ෆිල්ම් එකේ තිරගත වුණ මොහොතේ පටන් මම නොසෑහෙන්න කල්පනා ක⁣ළා.

මාත් ඇතුළුව හැම මිනිහෙක්ම රාම් කෙනෙක්. තනිකමෙන් පෙළිච්ච, හරිහමන් පවුලක් නැති මිනිහෙක්ට බිරිඳක් කියන්නෙ ලෝකයක්. මහන්සි වෙලා රාජකාරි ඉවර කරලා ආවාම වැටිලා හති අරින්න හැම මිනිහෙක්ටම ගෙයක් වගේ දැනෙන තුරුළක් තියෙන්න ඕනෙ. බිරිඳක් ඉන්න ඕන.

"තනිකඩව ඉන්න කාලෙ මම මැරෙන්න බය නෑ... ඒත් දැන්... දැන් මම මැරෙන්න බයයි. දැන් මම මැරෙන්න කැමති නෑ. මට ඔයාව දාලා යන විදිය ගැන හිතාගන්න අමාරුයි. මං මෙච්චර හයියට ඉන්න එකම හේතුව ඔයා."

මගේ ජීවිතේට හිනාවෙන්න අතොරක් නැතුව හැමදාම ආදරණීය හේතු ගේන ආදරණීය දර්යා... ආදරේ පිරුණ ඔයාගෙ හැම ලස්සන අත්හදාබැලීමකම කොහේහරි හිනාවත් ඈඳිලා තිබුණා.

දර්යාWhere stories live. Discover now