මාලි නැන්දා
කඩවල්වල ඉස්සරහා වීදුරු නවලා පාට පාටට තියෙන බීම ජාතිය මම කිසිම දවසක බීලා තිබුණේ නෑ. මං ඒකෙ නම දැනගෙන හිටියෙත් නෑ. අරන් දෙන්න හදන්නේ නැත්නම් කිසිම දෙයක් අම්මාගෙන් ඉල්ලන පුරුද්දක් මට තිබිලත් නෑ. ඒවායේ තියෙන වෛවර්ණ පාට දැක්කාම මට කොහොමටත් හිතුණෙ නෑ ඒවා බොන්න පුළුවන් ජාතියක් වෙන්න ඇති කියලා. මං හිතුවෙම ඒ නම් පාට කරපු වතුර වෙන්න ඇති, කඩේ ඉස්සරහා ලස්සනට තියලා ඇති කියලයි.
මට එකපාරටම මැවිලා පෙනුණේ මං ඔහොම හිතාගෙන හිටිය පුංචි සන්ධියේ දවසක කසකසා ඇට පුරවගෙන මාලි නැන්දාගෙ අතේ එල්ලිලා අපේ ගෙදරට එන බොරලු පාරෙ පල්ලම බහින ලොකුම ලොකු පාට පාට ජෝගුව. සමහර දවසට රතු පාට, සමහර දවසට කොළ පාට...
රසම රස සරුවත්...
ලොකු ඉන්නෙක් ආරක්ෂක සේවයේ නිරත වෙච්ච මාලි නැන්දාගේ රවුම්ම රවුම් මූණෙන් හිනාව එකයි. කොට හුරතල් පුංචි පැන්ඩෙක් වගේ මාලි නැන්දා හෙමීට හෙමීට පල්ලම බහිනවා. මා දිහා හිනාවේගෙන බලාගෙනම.
"කෝ පුතේ ලල්තක්කා?"
"අම්මේ... මාලි නැන්දා ඇවිත්. එන්ඩකෝ..."
මම ගමම දෙවනත් වෙන්න කෑ ගහනවා. වත්තේ එහා කෙලවරේ රෙදි වනන ගමන් එල්ලිලා ඉන්න රෙදි වැල අතෑරලා අම්මා ගේ ඉස්සරහට කඩිමුඩියේ ඇවිදගෙන එනවා. සරුවත් ජෝගුව දැක්කාම අම්මාටත් හිනාවක් පහළ වෙනවා. ඊළඟට පටන් ගන්නේ දෙන්නාගේ රෙදි සේදීමේ දෙවන අදියර. සරුවත් ජෝගුව වටේ කැරකි කැරකි ඉන්න එක එයාලාගෙ කතාවට බාධාවක් නිසා අම්මා මාව එළවලා දානවා.
"ලොකු අය කතා කරන තැන්වල ඉන්න එපා කියලා මම ඔයාට කියලා තියෙනවා නේද?"
අම්මා ඔහොම කියද්දිම මාලි නැන්දාට මගේ ගැන දුක හිතෙනවා. ඔව්, මට මතකයි.
"දැන් නම් ජයන්ත අයියමයි නේ ලල්තාඅක්කේ? බලන්ඩකෝ අර ඇවිදින විදිය එහෙම. ජයන්තයියාගෙම පොටෝ කොපියක්."
මාලි නැන්දා මහා සද්දෙට කෑ ගහලා කියන ඒ කතාව නිසා, අම්මාගෙන් මට එල්ල වුණ දෝෂාරෝපණේ වෙන පැත්තකට කරකැවෙනවා. කොහොම වෙතත් ඒ වෙද්දි අම්මාගේ බැනුමේ ලැජ්ජාවට මම අඩි ගාණක් එහාට විසික් වෙලා ඉවරයි.