https://youtube.com/@erambumathebeginning1?si=q5SEGqNLw8VM28y0
මගේ ලොකුම ජීවිත බලාපොරොත්තුව මම සාක්ෂාත් කරගෙන ඉවරයි. දැන් මම ඉන්නෙ විශ්‍රාම සුවයෙන්, වචනෙන් කිව නොහැකි නිවීමකින්. ඕන වෙලාවක යන්න පුළුවන් තරමේ පිහාටුමය සැහැල්ලුවකින්. ලෝකයේ නඩත්තු වෙන හුඟක් මුලාවන්වලින් දුරස් වෙමින්, මා දිහාම බලා උගනිමින්... ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් වැඩි බරක් තබමින්...
මැරෙන්න බය, මැරෙන්න දුක, මැරෙන්න ලෝබ හීන හැබෑ කරනොගත්ත මිනිස්සු වෙන්න බැරිද? මට දැන් මරණය කළු පාටට පේන්නෙ නැත්තෙ මගේ හීනය දේවදූතයෙක් වගේ මාව ආදරෙන් වෙලාගෙන ඉන්න නිසා වෙන්න බැරිද?
මේ තමයි මම ජීවත් වෙච්ච හේතුව. මට දැනුණේම මම වෙලා එක තත්පරයක්හරි ජීවත් වෙලා මැරුණත් මට සනීපයි කියලා. ඒක ඇත්ත. ඒක ඇත්තම ඇත්ත. අනිත් හැමදේම මේ හීනෙට වඩා හුඟක් ක්ෂුද්‍රයි. ලොකුම දේ දිනාගත්තාට පස්සේ දිනාගන්න දේවල් නැතිවෙනවා. ඉන් පස්සේ කොච්චර දේවල් දිනාගන්න හිතන් ලැයිස්තු හදාගත්තත් ඒ ජීවත් වෙන්න හින්දා මිසක්, ඒ කෝක දින්නත් ඒ හැටි විශාල බර තැබීමක් දැනෙන්නේ නැතුව යනවා. ඔය කෘත්‍රීම හේතු ලැයිස්තු තවත් මොකටද කියලා හිතෙනවා. කලකිරීමක් නෙවෙයි. ඒ ඇතිවෙන හැඟීම හිතේ සමාධියක් දක්වා විහිදෙනවා.
ජාතික හැඳුනුම්පත හදාගත්ත දවසේ දියත උයනට ගිහින් අතීතය දිහා ආපස්සට මතකාවර්ජනයක් කරන්න හදද්දි මට දැනුණේ විශාල මහන්සියක්. හෙම්බත්වීමක්. ආයෙ ඒ පාරෙ එන්න තියා ඒ පාරෙ ආව විදිය හිතන්නවත් වුවමනා වුණේ නෑ. ඒ වෙනුවට මම කැමති වුණේ මට දැනුණ නිවීම වැළඳගන්න; දැවීම්, කිළිපොළා යන හැඟීම් ගණනාවකට පස්සේ උදාවුණ ශාන්තිය සදාකාලිකව භාරගන්න.
කාටහරි lifeline එකක් වෙයි කියලා හිතලා තියපු මුල් ගලක් මේ. නීතිය, ආදරය, හැඟීම්, කලාව, සාහිත්‍ය, ධනාත්මක සිතිවිලි හැමදේ ගැනම මගේ පමණින් මේ වීඩියෝවලින් මම කතා කරනවා. ඉස්සර මගේ දිනපොත මගේ කවි පිටුව. දැන් මගේ දිනපොතෙන් කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියලා හිතෙන කොටසක් මේ පිටුවෙත් පළ කරනවා. හීන හැබෑ කරගන්නේ නැතුව කාටහරි මැරෙන්න හිතුණොත් එ් කෙනාට ජීවත් වෙන්න හේතු මතක් කරලා දෙන්නයි මට වුවමනා. ලොකුම ගින්දර නිවාගන්න. ඊට පස්සෙ සැනසීමේ හුස්ම ගත්තැකි.
අපි හැමෝටම අනන්‍ය ප්‍රශ්න තියෙනවා. අංක එකට විසඳගන්න තියෙන ප්‍රශ්න එකිනෙකාට වෙනස්. සමහරුන්ට ගෙයක්, සමහරුන්ට වාහනයක්, සමහරුන්ට රැකියාවක්, සමහරුන්ට විවාහයක්, සමහරුන්ට දරුවෙක්...
අංක එකට මට විසඳගන්න තිබුණ මටම අනන්‍ය වුණ ප්‍රශ්නය වුණේ මැරෙන්න කලින් මම වෙලා ජීවත් වෙන එක. එක දවසක්හරි. එක දවසට වඩා මට ඒ වාසනාව තිබුණා. මම මම වෙලා අවුරුද්දකුත් පහුවුණා. අභ්‍යන්තර යුද්ධයෙන් මම සීයා කෙනෙක් වෙලා. මගේ වයස මට දැනෙන්නේ එහෙමයි. මම ඒ සීයාගේ ගතිගුණ තව ටිකක් ලස්සනට, කරුණාවන්ත විදියට පෝෂණය කරගෙනම මේ ලෝකෙන් වෙන ලෝකෙකට අඬගහන දවසක හිනාවෙලා සැනසීමෙන්ම යන්නයි හිතන් ඉන්නේ.
තමන් සුවපත් වුණ දවසට තව කාවහරි සුවපත් කළහැකි. ඉතින්, සුව වෙන්න...!
https://youtube.com/@erambumathebeginning1?si=q5SEGqNLw8VM28y0
-දොන් ද සිල්වා-
16/01/2024