"දරුවන්ගෙ හිත් රිද්දුවොත් අම්මලාට පව් පිරෙනවද?"
ඉවසගෙන ඉන්නම බැරි තැන මං නෝනාට කෙටි පණිවිඩයක් යැව්වෙ උත්තරය මොකක් වෙයිද කියලා කිසිම විදියකින් කල්පනා නොකර... අඩුම තරමේ කිසිම විදියකින් ඒ ගැන උත්තරයක් බලාපොරොත්තු වෙන්නේත් නැතිව. ඒත් මගේ එකම කෙටි පණිවිඩයක්වත් මගාරින පුරුද්දක් මගේ නෝනාට තිබ්බෙ නෑ. මොන තරම් බරසාර රාජකාරියක් නිතරවෙලා හිටියත් ඇය මගේ හැම කෙටි පණිවිඩයකටම හරි සැලකිල්ලෙන් උත්තර තියන ජාතියේ බිරිඳක්.
එයාගෙ උත්තරය කියවලා මං එයාට ආයේම උත්තරයක් තිබ්බා.
"එයා මං වෙනුවෙන් හැමදේම කළා. එයා අන්තිමට මට මොන දේ කළත් එයා මං වෙනුවෙන් ඒ තාක් කරපු හැම හොඳකම බලයෙන්, මගේ පපුව පිච්චෙන තරමකට කිසිම විදියකින්, එයාට පව් නම් පිරෙන්න එපා" කියලා.
අවුරුදු විසි ගාණක්ම අම්මාගේ අතින් උයපු කෑම කාලාම මට අම්මාගේ කෑමවල රහ හිතෙන් අයින් කරගන්න බැරි ගතියක් තදින් තිබුණා. ඒත් ඒ රහ ආයෙ කිසිම කෑමකින් විඳින්න බැරි වෙද්දි මම හිටියේ සාගින්නෙන් වියරු වැටුණ මෘගයෙක් තරම් ඇතුළාන්තයෙන් දරුණු වේදනාවකට ලක් වෙලා.
අම්මාගේ ව්යංජනවල රහ මතක් කරගන්නවා හැර මට වෙන විකල්පයක් තිබුණෙත් නෑ. ගෙදර ඉන්න කාලෙ අම්මා උයන වෙලාවට කුස්සියෙන් කොයි තරම් එහෙ මෙහෙ ගියත් අම්මා උයන විදිය මුල ඉඳන් අගට මම කිසිම දවසක සැලකිල්ලෙන් බලන් ඉඳලා නෑ. අපේ ගෙවල්වල තාත්තලා උයන්නේ නැති තරම්. උපරිම අවුරුද්දට එක දවසක් දෙකක් උයයි. ඒත්, උයන්න වෙන කෙනෙක් නැතිම වුණොත් විතරයි. ඒ කියන්නෙ ඉතින් අම්මා රෝහල්ගත වෙන තරමේ ලෙඩක් හැදුණොත් තමයි.
මේ විදියේ කාරණා හින්දා මගේ ඔලුවේ අච්චු ගැහිලා තිබුණේ උයන වැඩේ අම්මාගෙ අතින්ම නොකෙරුණොත් අපිට කැවෙන්නෙත් නෑ වගේ අදහසක්. මට මතකයි ඉරුවාරදේට ඔලුවෙ කැක්කුම තියන්, ඒ අතරේත් අපේ අම්මා උයනවා. ඕනම වුණොත් කලාතුරකින් දවසක මට කියලා පොල් ටිකක් ගාවගනියි. ඒ හැර වැඩක් පවරලා නෑ කිසිම දවසක. ඒක ඒ තරමටම අම්මාට පැවරිච්ච රාජකාරියක් වගේ වෙලා තිබුණා. පොඩි අක්කා උයන්න කැමැත්තෙන් කුස්සියට ගියත්, එයා උයන්න කුස්සියට යද්දිම, ඉස්සෙල්ලාම ඒකට විරුද්ධ වෙන්නෙ මම. තාත්තාත් පොඩියට විරෝධය දක්වනවා. ඉතින් පුදුමයක්ද උන්දැට මාව වහකදුරු වෙච්චි එක?