"ජීවිතේ තියෙන්නේ දිනන්න
හැමදේම හොඳින් වෙයි හිතන්න"මේ කවිය මම කාගෙහරි නෙගටිව් පෝස්ට් එකකට කමෙන්ට් එකක් විදියට දාපු කවියක්. ඒ කවිය මට පාඩම් හිටියා...
දැන් මොනවාමහරි ප්රශ්නයක් මගේ හිතට ආවොත් මගේ හිතේ අනිත් කොටසෙන් මේ කවිය ඇහෙන්න පටන් ගන්නවා මටම... එතකොට ප්රශ්නෙ වෙනුවට විසඳුමක් ගැන බලාපොරොත්තු අැති වෙනවා. එහෙම හිතද්දි සමහර ප්රශ්න විසඳෙන්නෙ ඉබේම වගේ...
සොබාදහමේ ආශිර්වාදයක් වගේ මනුෂ්ය ගුණංග තියෙන මිනිස්සු සිය දහසක් ඒ වෙලාවට එක්කෙනා ගාණේ මගේ උපකාරයට එනවා, මම උදව් නොඉල්ලාම. නම ගම නොදැන මම මිනිස්සු වෙනුවෙන් කරපු උපකාර එක පෙළට මගේ හිතේ ඒ වෙලාවට ඇඳිලා යනවා.
මනුස්සකමට කරන උපකාරන් තමන්ගේ අයිතියක් විදියට හිතලා නියෝග නිකුත් කරන විදියේ මානසික තත්ත්වයක් තියෙන මිනිස්සු එක්ක වැඩ කරලාම හෙම්බත් වුණ වටිනාම මනුස්සයෙක්ගේ කතාවක්, වතාවක් මම අහගෙන ඉන්නවා. ඇගෙන් උපකාර ගන්න මිනිස්සුම ඇයට හදලා තියෙන කටකතා ඇහුවාම ඇය විතරක් නොවෙයි අහන් ඉන්න මාත් කලකිරෙනවා. ඒත් ඇය කිසිම නීතිමය ක්රියාමාර්ගයක් නොගෙන ඉවසලා ඉන්නවා. ඇයම කියනවා ඇය එහෙම ප්රතික්රියාමාර්ගයක් නොගන්නා නිසාම ඇයට ඒ විදියේ ගැටලු සිදු වන බව. ඉතින් අපිට සිද්ධ වෙනවා අපිව පරිස්සම් කරගන්න. අපිව පරිස්සම් කරගන්න ගමන් උදව් කරන්නත්, උදව් කරන ගමන් අපිව පරිස්සම් කරගන්නත්.
අම්මලාට ආදරේ දක්වන්න මට කොච්චර වුවමනා වුණත් ඒ විස සහිත අවකාසයට ඇතුල් වෙන්න මට තියෙන්නේ විශාල පැකිළීමක්. මම ඉන්නේ උදව් කරගන්න විදියක් නැතුව. එයාලා ඉන්නේ එයාලාට උදව් අවශ්ය බව දන්නේ නැතිව. අම්මාගෙ අතින් අන්තිමට බත් කටක් කාලා අවුරුදු තුනකට වඩා ගෙවිලා ගිහින්. ආයෙ ඒ අතින බත කටක් කන්න ලැබෙයි කියලා තියෙන සියලු ආසාවන් මම අතෑරලා දාලා අවසන්. නපුරු මෛත්රීලා මගේ අම්මාගේ මළගමවත් මට දැනුම්දෙයි කියලා මම හිතන්නේ නෑ. ඇරත් ජීවත් වෙද්දි මට ඒ මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න තියෙන පාරවල් සේරම වහලා දාලා, මරණෙ ගැන විතරක් මට කියන්න කතා කරලා මොකටද? ඒකත් නොකියා හිටියාවෙ. අමුතුවෙන් දුක්වෙන්න මොනවත් මට තව ඉතුරුද? මම දැන් දුක සතුට මොකක්වත් තදට නොදැනෙන කොන්ක්රීට් කණුවක් වගේ. කණුවක් වුණත් හීතලට දැනෙන...
දුක මම නම් දුකෙන් මිදෙන්න මට මගෙන් මිදෙන්න වෙනවා. කිසිවක් මගේය කියා දැනෙන හැඟීමට තිත තියන්න සිද්ධ වෙනවා. මේක මඩේ දදා හෝදනවා වගේ වැඩක් තමයි. දුක හිතෙනවා, දුකෙන් මිදෙනවා. ආයෙ දුක හිතෙනවා, ආයෙ ඒ දුකෙන් මිදෙනවා. කුණු ගෑවෙනවා, නානවා... ආයෙ වැඩ කරද්දි කුණු ගෑවෙනවා, ආයෙ ගිහින් නානවා වගේ. මේ කෙලෙස් ලෝකෙ එක්ක ගැටෙද්දි මේ චක්රය එක්ක ගමනේ නිරත වෙන්න අපිට සිද්ධ වෙනවා.
අම්මා ගැනම ලියවුණු මගේ එක පරිච්ඡ්දයකට ඔහු සටහනක් තියා ගිහින් තිබුණා. මගේ කුඩප්පච්චිත්, මිතුරාත් වන ඔහු...
"මේවා මහා බර අකුරු.. පපු රිදෙන තැන් වලදි අයාසයකින් තොරව ඇස් රතු කරන පරිච්ඡේද!
අපිට හැමදේම ලැබෙනවනම් අපි කොච්චර වාසනාවන්තයි ද..
ඇත්ත...
හැමදේම ලැබෙන්නෙ නෑ මනුස්සයෙක්ට...එක පැත්තක් සම්පූර්ණ වෙද්දි, තවත් පැත්තකින් රික්තකයක් ඇති වෙනවා, හැබැයි ඒකට විකල්පයක් විදියට මොනයම් හෝ දෙයක් අපිට ලැබෙනවා!
අම්මා කියන හිස් තැන සම්පූර්ණ වෙන්න වෙන විකල්ප නෑ කියනවා... ඒක වෙනම ලෙවල් එකක වෙනම බැඳීමක්...
ඉතින් ඒ හිස් වුණු කළු කුහරය පිරවෙන්න ඔයාට අම්මෙක් වගේ ම ආදරේ කරන, කාරුණික , ආදරණීය බිරිඳක් ලැබිලා තියෙනවා , ඔයාට ඒ වාසනාව තියෙනවා !
තව සිය ගානක් අම්මලා ඔයා වගේ පුතෙක් ප්රාර්ථනා කරනවා... ඔයාට ආදරේ කරනවා!
ඉතින් නොලැබෙනා දේ ගැන හිතමින් තැවෙන් නැතුව ලැබෙන මේ ආදරේ ලෙංගතුව වැළඳගත යුතු නොවේද...
සෙනෙහසින් දෝත දරාගත යුතු නොවේද...?පෑරුණු හිත් සිය ගණන් සුවපත් කරන ඔයාට ආපිට ඒ සියළු යහපත් දේ ලැබෙනවා කියන එක විශ්වාස නොකර ඉන්න හේතු තියෙනවද...?
ඉතින්,
කුඩා මිනිහෝ,මට උඹේ ආදරණීය ආත්මය තදින් වැළඳගත යුතුව ඇත!❤
#රනුක්"
-දොන් ද සිල්වා-
24/12/2023