දර්යා...
-ස්වප්න-මගේ ජීවිත කතාව දවස ගාණෙ ලියවෙනවා. හිටියෙ කොහෙද දැන් ඉන්නෙ කොහෙද කියලා පුදුම හිතෙන විදියෙ දවස් සියක් දහසක් මට මුණ ගැහෙනවා. ඒ අතරින් බොහොම කලාතුරකින් දවසක මගේ හිත එක තැනක නතර කරවන මේ වගේ අකුරු පේළියක් දෙකක් මට මුණගැහෙනවා. මේ මං වගේ මිනිහෙක්ද? එහෙම නැත්නම් මේ මමමද? අහම්බෙන් මම දැක්ක ඒ සටහන මම ආයෙආයේම කියවනවා... මගේ හිත හැතැප්ම බර ගාණක් එහාට විසික් වෙලා ගිහින් බිමට වැටෙනවා. බිමටම...
මට පසුබිමින් ඇහෙන්නෙ රෑ ඉරපානෙ බන්ධුල නානායක්කාරවසම් මහත්තයාගෙ කටහඬ. ඔහු මගේ ජීවිත කතාව ඔහුගේ කටහඬින් කියාගෙන යන රිද්මයානුකූල ශෛලිය මගේ කන් ඇතුළෙ දෝංකාර දෙන්න පටන් ගන්නවා. මං ඒ කතාව අහගෙන ඉන්නවා. කතාව පටන් ගන්නෙ ඉස්කෝලෙ යන්න අම්මා කවි කිය කිය මාව ඇහැරවන තැන ඉඳන්.
"අම්මා..."
මේ ලෝකෙ මං වැඩියෙන්ම ආදරේ කරපු වචනය...
වටේට ගින්දර මැද්දෙ සවුන්දර...
දෙන්නා දෙපැත්තේ කාන්ති මැද්දේ...
ලීලයි කමලයි චම්පයි රේඛයි...හම්මේ... කවි ගොඩ...
අම්මා ඒ අස්සෙ මට කිචි කවන්න පටන් ගන්නවා.
අම්මෙ එපාාාා... මට ඔලුව රිදිලා වමනෙ යන්න එනවා කිචි කවද්දි...
මං එහෙම කෑගහගෙන නැගිටිනවා...
කතාවෙ ඉතුරු ටික මම අකමැති ටිකක්. ඉස්කෝල යන්න ආස වුණාට ඒ අඳින ඇඳුම නම් මතක් කරන්නවත් හිතෙන්නෙ නෑ. ආයෙම හිත කැමති තැනක කියලා නතර වෙන්නෙ අම්මා අනලා කවන බත් පිඟාන ගාව. අම්මා උදේට උයන පරිප්පුව නම් රහ නෑ. රහට තියෙන්නෙ අම්මා රෑට උයන පරිප්පුව... ඒ මොකද? කවුද දන්නෙ? අදටත් ඒකට හේතුව මම දන්නෙ නෑ.
අම්මා කවනවා. ආත්ම ගාණක පව්ද මන්දා ගල් කැට වෙලා මටම හැපෙනවා. ඒකත් අම්මා කැව්වොත් විතරයි. මම අනන් කාපු කිසිම දවසක මට ගල්කැට අහුවෙන්නෑ.
ඉස්කෝලෙට වෑන් එකෙන් ගිහින් බහින එක වසර පන්තියේ මම, වෙන යාලුවන්ගේ අම්මලාම එයාලාව ඉස්කෝලෙ එක්ක එනවා දැකලා, හිත රිද්දන් ඉස්කෝලෙ බිල්ඩින් දෙකක් මැද්දෙ පටු කුහරෙක හැංගිලා ඉකි ගගහා අඬලා ඇස් පිහිදගෙන කිසිම දෙයක් නොවුණ ගාණට ආයෙම පන්තියට ගිය විදිය මතකයි මට.