අතීතය ගැන කිසිම වේදනාවක් නැතුව කල්පනා කරන නිදිවර්ජිත රාත්‍රියක් කොයි වගේද බලන්න මට තිබ්බෙ පිපාසයක්... අහම්බෙන් ඉහළ පහළ යන සයිබර් අවකාශයක පුරා එහෙ මෙහෙ ඉබාගාතේ දුවන මතක ගොන්නකට මැදිවෙලා නිස්කලංක සුවය විඳින අතරේත් හිත දුවන්නෙම, මේ තරම් මතක කන්දරාවක් මැද ඉඳලත් ඇයි දැන් නොරිදෙන්නෙ කියන කල්පනාවට. මිනිස්සුන්ට වේදනාවත් හුස්ම තරමට වැදගත්ද? නොරිදී ඉද්දි රිද්දගන්නම හොයන එක මනුස්ස ස්වභාවයක්ද? එහෙම නැත්නම් ඒක ලස්සන කවියකට ප්‍රස්තුතයක් හොයාගන්න කවියෙක්ගෙ ඇස්වල නිතරෝම පැටලෙන නිමිත්තක් විතරක්ද?
එකපාරක් විතරක් බලලා ආයෙ බලන්නේම නැහැයි කියලා තදින් තීරණය කරගත් අභිෂේකාගේ "මතක" ගීතයේ ස්වරවලත්, පද රචනයේත් ගැබ්වෙලා තියෙන්නෙ ආත්මය දවා අළු කරන ආකාරයේ මහා පුදුමාකාර විසකුරු විලාසයක්. කවදාහරි දවසක ඒ ගීතය කවුරුහරි මං වෙනුවෙන් ගායනා කරයි කියලා මං ජීවිතේට විස්වාස කළේ නෑ. ඒත් ඇය, ඒ ගීය මගේ අලුත් ජීවිතය පාමුලේ විසි කරලා ගියේ හරියට දේවාලයක් ඉදිරියේ පොල් ගෙඩියක් ගහන විලාසයෙන් වෙන්න බැරිද? ඇයි ගිය මිනිස්සු තවත් අපි වෙනුවෙන් බලන් ඉන්නෙ? ඉන්න හයියක් නැතිකමට නික්මිලා යන ආලෝකයකට පස්සෙ අපි ස්වකැමැත්තෙන් අන්ධකාරය වැළඳගෙන මළගිය ප්‍රාණකාරයො වෙන බව ආලෝකයත් අරගෙන යන්න යන ගැහැනියකට කවදාවත් වැටහෙන එකක් නෑ. ඉතින් අලුත් වැස්සකට පස්සෙ එන හුළඟ පාමුල අර වගේ ගීතයක් අතුරලා යන එක මොන තරම් අසාධාරණද? ඒක ගීතයක් විතරක් නෙවෙයි. ඒක පුදුමාකාර විසඝෝර ඇනුම් පදයක්.
වැරැද්දක් කරපු නැති මිනිහෙක්ට තමන්ගේ වරදත් පටවලා යන්න තරම් හැකියාවක්, ගැහැනියෙක්ට තියෙන්න පුළුවන්ද? පිළිවෙළට කියාගෙන යන්න හදන මේ වෘත්තාන්තයට කඩින් කඩ මතකයන් අැවිත් පහර දෙනවා. එකක් කියලා ඉවර කරන්න කලින් තව මතකයක් ඇවිත් ලියපන් ලියපන් කියන තදබල විධානයෙන් අණ කරනවා. සමාජ, දේශපාලන, ආර්ථිකමය ප්‍රශ්න අටෝරාසියක් අපි වටේ කැරකෙන මොහොතක මං හිත දිහා පුදුමාකාර අවධානයකින් හැරිලා බලනවා. මට මේ හැම හැඟීමකටම, මනෝභාවයකටම ජීවය දෙන්න වුවමනයි. මිනිහෙක් තමන් මූණ දෙන අත්දැකීම් එක්ක තමන්ගේ භාවයන් කොයි විදියට හසුරුවාගන්නවා ඇතිද කියන මගේ පර්යේෂණයේ පර්යේෂණාගාර මීයා වෙන්න මටම ඉඩකඩ ලැබුණු එක මොන තරම් අහම්බයක්ද?