-දර්යා-
සමහර ගමන් යන්නෙ ලොකු කැමැත්තකින් නොවුණත් ගිහින් එන්නෙ පුදුමාකාර අකමැත්තකින්. ඇලීම්, බැඳීම් ඇතිවෙන්න ගතවෙන්නෙ තත්පර ගාණයි. කවුද හිතන්නෙ හයිබ්රිඩ් මිනිස්සු මේ තරම් ආදරණීය මනුෂ්යයෝය කියලා.
...
...
බහින්න මීටර ගාණ ගැනගෙන ඉද්දි හදිසියේම ගූගල් මැප් එක හිරවෙලා ගමනාන්තය පහුවුණාද නැද්ද හිතාගන්න බැරුව ඉන්න වෙලාවක බස් එක හිටිහැටියේ නවතිනවා. දඩිබිඩියේ බැහැලා බලද්දි බස් එක නවත්තගෙන ඉන්නෙ දඟකාර කුක්කෙක්. පුදුම සිරියාවක්... බොහොම අමාරුවෙන් බස් එක කුක්කාව පහු කරගෙන වෙට්ටුවක් දාගෙන කන්ද නගින්න පටන් ගන්නවා. කොහේද අතරමැද්දක බැහැගෙන මායි ගමන් සගයයි හතර වටේ ඇහැ කරකවනවා.
"පහුවෙලාද?"
ඇස් කරනවනවා... මැප් එක බලනවා.
ආතබූත වෙලා වටේ කැරකෙන ගමයෝ දෙන්නා දැකලා ඕන් බයික් එකක් වේගය බාල කරනවා. "වැරදි තැනකින් බැහැලාද? කොහේටද යන්න ඕනෙ?"
අපි දෙන්නාම එකපාර උත්තර දෙනවා...
හිනාවෙලා ලැබෙන්නෙ බලාපොරොත්තු දල්වන ප්රතිඋත්තරයක්...
හරි තව මීටර් දෙසිය ගාණක්වත් නෑ. ඔහොමම කන්ද අද්දමු.
ඒ අස්සෙ මැප් එකත්... "ආහ්... ඔන්න වැඩ... තව මීටර් දෙසිය ගාණක් වගේ... යන් ඉස්සරහට..."
දඟ කුක්කා පාරට පැන පැන සේරම වාහන නවත්තනවා. කොහේ යන්න හිතාගෙනද කවුද දන්නෙ? ඌ පාරට පනින වාරයක් ගානේ අපේ බඩ පපුව පිච්චිලා යනවා.
"මෙහෙට වරෙන් මෝඩයා. හැප්පෙයි... එනවා මෙහෙට..." අපි ඌව අල්ලන්න ඌ පස්සෙ දුවනවා. තඩි මලු දෙකකුත් පිටේ බැඳන්...
මූ අණ්ඩ කොලු ගැටයෙක් වගේමයි. කොහෙ අල්ලන්නද... දත් විලිස්සගෙන එහෙට්ට මෙහෙට්ට පනිනවා. පැනලා දුවනවා.
ඒත් මොක කළත් අපේ පස්සෙන්මයි... ඌ එක්ක හෙට්ටු වෙවී අපිත් ගමනාන්තෙටම එනවා.
ලංකාවෙ හතරදිග්බාගයෙන්ම ආපු අලුත් පිරිමි ටික... වෙනස් පිරිමි ටික... එකා ගානේ නවාතැනට සේන්දු වෙනවා. එහෙම මිනිස්සු ටිකක් එක තැනක දැක්ක පළවෙනි වතාව.
නොයෙක් තරාතිරම්වල, නොයෙක් වෘත්තීන්වල, නොයෙක් වයස් මට්ටම්වල...