රුදා නගමින් නුඹව වෙහෙසට පත් කළ නුඹේ හිසේ කෙස් අතර දෑඟිලි අද්දවාගෙන යමින් මම නුඹේ නළලතට පාත්වී නුඹේ නළල් තලය සෙමින් වුවත් මහත් වූ ප්රේමයකින් සිපගනිමි...
"හෙට උදේ ඇහැරෙද්දි මට කියවන්න මොනවාහරි ලියලා තියන්න..."
දෝංකාර නගමින් මගේ සවනත පුරා නැවත නැවතත් ඇසෙන නුඹේ වදනින් මම නිවී සැනැහී යමිනි. අතීතයට එක්වූ කාචගත කරගන්නා ලද සන්තෘප්තදායක නිමේෂයන් සියල්ලක් එක්කාසු කරගනිමින් එකින් එක විවර කරමින් නුඹ දෙස බලා හිඳිමින් මේ විසල් පාළුවද, කාන්සියද, සාංකාවද මා විසින් මග හරවා ගත යුතුවැත.
"ඔය තරම් පාළුද මං චුට්ටක් එහෙ මෙහෙ වුණාම පැටියෝ... ඇයි ඉතින් නිදාගත්තෙ නැත්තෙ..."
හෙට නුඹ විමසන නුඹේ ප්රශ්න ද මමම මෙනෙහි කරමින් මමම ඊට පිළිතුරුද සපයමිනි.
"අසමාන්තර විශ්වයන් දෙකක මේ තරම් සමාන මිනිස්සු දෙන්නෙක් බිහිවෙන්න පුළුවන්ද?" මම නුඹේ දෑස් වෙත එබෙමින් අසමි.
"පණ්ඩිත කතා නැතුව ඉස්සෙල්ලා මං අහපු දේට උත්තර දීලා ඉන්නකො..."
මට ඉබේම සිනා පහළ වේ.
"ඔයා කොහොමද මේ තරමටම මට සමාන වුණේ?'"කෝ දැන් මං අහපු එකට උත්තරේ. ඒවා මේවා වැඩක් නෑ මං අහපු එකට උත්තර දෙනකන් මං මේ බලන් ඉන්නෙ."
"නිදාගන්න හිතුණෙ නෑ. මං කොහොමත් ඔයාට නින්ද ගියාට පස්සෙත් ටික වෙලාවක් ඔයා එක්ක ගත කරනවා. සමහර විට හෝරාවක් දෙකක් වගේ... මට ලෝබයි ඇස් දෙක පියාගන්න. ඊට පස්සෙ මගේ ලෝකෙට එකතුවෙන්නෙ අන්ධකාරයයි ඒ පස්සෙන් මාව ඇදගෙන යන්න ලුහුබැඳන් එන හීන ගොඩකුයි. මට ලෝබයි ඒ තත්පරේටහරි ඔයාගෙන් වෙන්වෙන්න...
මට දැනෙන්නෙ හරියට මගේ ශරීරයේ කොටසක් මා ගාව නෑ වගේ. මට දැනෙන්නෙ මගේ කටහඬ නැතුව ගියා වගේ. මට දැනෙන්නෙ මගේ හිනාව එකපාරටම අතුරුදහන් වුණා වගේ. මට දැනෙන්නෙ මගේ ආත්මය මගේ ශරීරරයෙන් වෙන්වෙලා ගියා වගේ... මට දැනෙන්නේ මගේම කොටසක් මට අහිමි වුණා වගේ. ඔයා තව පැය කීපෙකින් ඇහැරිලා මාව හොයන් එනවා කියලත් මං දන්නවා... ඒ දැන දැනත් අර පුංචි සමුගැනීමේ හෝරා කීපය මට දැනෙන්නෙ ආත්ම ගාණකට සිද්ධ වුණ එකක් වගේ...