වර්තමානය 💚
තව දවසකට එළි වෙලා....වතිල උදේ පාන්දරම පහන්‍යාව ඇහැරවන්න උත්සාහ කරනවා ඉස්කෝලෙ යන්න... ඒත් ඇදටම ගුලිවෙලා කොට්ටේ බදන් ඉන්න කෙල්ල තාත්තා කතා කරනවා ඇහෙන්නෑ වගේ බොරුවට නිදි...
"අයියෝ ඩැඩී...මට බෑ...... නිදිමතයි අප්පා.....හෙට නැගිටින්නංකො..."
"නැගිටින්න නැගිටින්න ළමයො.. ඩැඩීට පරක්කු වෙනවා... මොකද මේ ඉස්කෝලෙ යන්න බෑ කියන්නෙ..."
"මට බෑ..."
"මමී කෝල් කරාම මං කියනවා හොදද, ඊට පස්සේ මමී ඔයාව බලන්න එද්දි ඔයා ඉල්ලපු කැමරාව ගේන එකක් නෑ...."
මොනවා කීවත් පහන්‍යා නැගිටින පාටක් නෑ වගේ...
ඉතිං වතිල කම්මැලිකමට නිදියන් ඉන්න පහන්‍යාව අතින් උස්සලා ගත්තෙ පහන්‍යා හූ තියද්දි....."බිමින් තියන්නකො අප්පා..."
පහන්‍යාගෙ මුළු කොණ්ඩෙම අවුල් වෙලා...ඇසුත් තද කරලා පියාගෙන..
වතිලට හිනායන්නත් එනවා ඒ පෙනුමට....."ඔන්න බිම දානවා හොදේ....එකයි...දෙකයි...තුනයි....ඔන්න ...."
"හරි හරි හරි...මේ නැගිට්ටා, නැගිට්ටා වදේ... ඔයා නං මහ වාතයක් අප්පා..."
පහන්‍යා රව රවම වතිලගෙ බෙල්ලෙ එල්ලෙද්දි වතිල පහන්‍යාවත් වඩන් ජනේලෙ ළගට ගියා...
"අර බලන්නකො.... ඉරත් ඔයාට හිනාවෙනවා ඇති නැගිටින්න බෑ කියද්දි..."
"ඉරත් එක්ක නැගිටලා මම එළිය බෙදන්නද අප්පා...මට නිදිමතයි...
පහන්‍යා වතිලගෙ බෙල්ල බදාගෙන කීවෙ නිදිමතේම...
වතිල දූ ගෙ ඔලුව එක අතකින් අත ගාන ගමන් අනෙක් අතින් එයාව තද කරලා අල්ලගත්තා...
පහන්‍යාට අවුරුදු හතයි තමයි...ඒත් එයා තාමත් හුරතල් වෙනවා...වතිලටත් තේරෙනවා පහන්‍යාට දැනෙන හැටි...එයාගෙ අම්මත් ගොඩක් දුර...එයාගෙ තාත්තත් එයාගෙන් ඈත් වෙලා වගේ එයාට දැනෙන්න ඇති...
පුංචි හිත් වලට වැඩිහිටියන්ගෙ ප්‍රශ්න ගැන තේරෙන්නෙ නෑනෙ...වතිල දුකෙන් ඉන්නකොට...වෙනදා වගේ පහන්‍යා එක්ක හිනා නොවෙන කොට පොඩිකෙල්ලට දුක හිතෙන්න ඇති...
ඒකයි උදේපාන්දර එයාගෙ ඩැඩී ගෙ අවධානෙ ඉල්ලන්නෙ....