වතිල බංගලා වත්තට ආවෙ මාසෙකට විතර පස්සෙ....
පහන්‍යා නං පන්සිළු එක්ක ඇවිත් ගියත් වතිල නං මේ පැත්ත පලාතෙ පස් පෑගුවෙ නෑ .....
එයාට තවදුරටත් එයා කවුද කියලා පිළිනොගන්න තැනකට එන්න ඕනෙ වුණේ නෑ....."මොකද කල්පනා කරන්නෙ ඔච්චර... යං ඇතුලට... "
පන්සිළු වතිලට ඇනලා කියද්දි වතිල ඔලුව උස්සලා තට්ටු තුනකට විසාලෙට පේන පරණ තාලෙට හදපු බරසාර බංගලාව දිහා ඇස් තියුණු කරලා බැලුවා...
"අනේ මන්දා... මට දැන් මේ ගෙදර පිට ගෙදරක් වෙලා වගේ මල්ලි... මම මේ බංගලාව හිතිනුත් අතෑරලා... "
ශාධිත්‍ය වතිලට එහා පැත්තෙ හිටගෙන හිටගත්තෙ වැඩි සද්දයක් නැතුවම එයාට සහයක් වෙන ගමන්...
ශාධිත්‍ය ඉන්න එක වතිලට හයියක් වගේ....
එයා දන්නවා තාත්තා අනිවාර්යෙන්ම වගකීම්, යුතුකම් , කසාද කියන මාතෘකා වලට එනවමයි කියලා...වතිල ඇතුලට යනකොට බංගලාවෙ හැමෝම අය පහල සාලෙ......
වටේට ඉදගෙන ඉන්නවා හරියට භාවනා වැඩසටහනකට වගේ...
වතිල කැමතිම නැති දෙයක් මේක...
පවුලක මිනිස්සු වුණත් මේ ගෙදර මිනිස්සු ඉන්නෙ හරියට රාජකාරියකට ඇවිත් වගේ....ඒ තරමට වෙන වෙනම... වතිලට දැන් ඒ වෙනස වැඩිපුරම පේන්න ගත්තෙ එයාට ඊයෙ දවස පහන්‍යායි ශාධිත්‍යයි නෙහානුයි භාතියයි එක්ක ගත කරපු විදිහ මතක් වෙද්දි....
වතිලට දැන් මේ නිශ්ශබ්ද ගතිය නුහුරුයි වගේ.....වතිල කවුරුත් දිහා නොබලා ඉන්න හැදුවත් වතිලව දැක්ක ගමන් මංගලිකා දුවගෙන ඇවිත් එයාව බදාගත්තා.....
"පුතේ... ඇයි අම්මවවත් බලන්න ආවෙ නැත්තෙ.... "
මංගලිකා වේදනාවෙන් අහද්දි වතිල උත්තරයක් නොදීම අම්මව ආයෙ බදාගත්තා...
තාත්තා වතිල දිහා බැලුවෙ නෑ.... ඉතිං වතිලත් එයා දිහා නොබලම ශාධිත්‍ය එක්ක පැත්තකින් ඉදගත්තා..
ලෙටීෂියා හරිම සන්සුන් විදිහට හැමෝම දිහා බැලුවා..
"නිහාල්... දැන් ඉතිං පටන් ගන්න... මගේ තුනටියත් රිදෙනවා දරුවො.. මේ වයසක මාව අර ලෝයර් එන වෙලාවටත් කලින් පහලට ගෙන්නන්න හේතුවක් තියෙන්න එපැයි...."