18

417 43 2
                                    

දහවල් ආහාරවේල සඳහා පස්මිතුරු කල්ලියම ආපනශාලාව වෙතට එකතුවුණත් තරුණියන් තිදෙනාගේ නොසන්සුන්කම අනික් දෙදෙනාට නොතේරුණා නෙවේ. "මොකද මධූ අක්කේ මූණ හොද නැත්තේ? මොනාහරි වුණාද?" අරවින්ද ඇහුවේ මධූ දිහා අවධානයෙන් බලන ගමන්. "නැහැ මුකුත් නැහැ මල්ලි.." මධූ කිව්වේ අමාරුවෙන් තමන්ගෙ තොල් අතරට හිනාවක් කැන්දගන්න උත්සාහ කරන ගමන්. "මුකුත් නැහැ නෙවේ අයියේ..... මේ චුරු චුරුව බෝ වෙලා ඇති... ඔය අපිට නොකියා ඉන්නේ අපි ලගට එන්නේ නැතිවෙයි කියලා වෙන්නැති" ජනිත් කිව්වේ 'මේ චුරු චුරුව' කියලා, සමාධිව පෙන්නන ගමන්. ඔහු ඉන් අදහස් කලේ සමාධිගේ හෙම්බිරිස්සාවයි.

"ඔව්.. ටිකක් හෙම්බිරිස්සාව වගේ තමයි" එහෙම කිව්ව මධූ ඔවුන් ඉදගන්න සුපුරුදු මේසෙන් ම ඉදගත්තා. අරවින්ද වගේම ජනිත් මූණෙන් මූණ බලාගත්තේ වෙනිදට මධූගේ හැසිරීම හොඳින්ම දන්න නිසා, අද එය ඔවුන්ට ඉතාමත් නුහුරු වුණ නිසයි.

ඒත් නැවත මධූගෙන් කිසිවක් විමසන්න කරදර නොවුන අරවින්ද සහ ජනිත් දෙදෙනාමත් ගිහින් අනික් තිදෙනා සමඟ අසුන් ගත්තා. "ඔයාලා අපි කම්පැණි එකට එන්නත් කලින් ම මෙහෙම එකට ද කෑවේ අරවින්ද අයියේ?" නුරායා එහෙම ඇහුවේ තවත් ඔවුන්ගේ අවධානය මධූ දිහාට යවන්නේ නැතුව වෙන දේකට යොමු කරවන්න. "හ්ම්ම්... එක එක විදිහට කෑවා ඉතිං.. ඒත් එක දිගටම මෙහෙම එකට කන්න ගත්තේ ඔයාලා දෙන්නා ආවට පස්සේ. ඒත් ජනිත් එක්ක තමයි මම කොහොමත් හිටියේ. කොහෙද ඉතිං මධූ අක්කාට කෙල්ලෝ ඕනේ වුණානේ ඕපදූප කියවන්න... දැන් ඒ සෙට් එක වැඩිය කතා කරන්නෙත් නැහැනේ?" අරවින්ද එහෙම කිය කියා හිනාවෙවී මධූ දිහා බැලුවත් ඇයගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.

"හරි... හරි.. අපි කමු.. දැන්.. බඩගිනියි මට..." නුරායා නැවතත් කතාව වෙනස් කලේ, සමාධි මධූගේ අතට සිහින් තට්ටුවක් දාලා ඇයව සනසවද්දීයි.

"හරි හරි... කමු කිව්වත් වගේ.." ජනිත්ටත් මෙතන මොනාහරි අවුලක් තියෙනවා කියලා වැටහුනත් ඔහු එහෙම කිව්වේ, නුරයාගේ සංඥාව තේරුම් අරගෙන.

"නුරායා අක්කාද උදේට උයන්නේ?" ජනිත් ඇහුවේ නුරායාගේ බත් එකේ තිබුණ පොලොස් දැකලා. "ආ..හ්? ඔව් ඔව්... මම තමයි ගෙදර උයන්නේ.. දැන් ඔෆිස් එන නිසා ලොකු අම්මාත් උයනවා.. ඒත් උදේට උයලා එන්නේ මම" නුරායා එහෙම කියද්දී ජනිත් ඔලුව වැනුවා. නුරායා ජීවත්වෙන්නේ ලොකුඅම්මාගේ ගෙදර කියලා අනික් හතරදෙනාම දැනගෙන හිටියේ. "රසයි ද?" ජනිත් ඇහුවේ පොලොස් කෑලි පෙන්නලා. "ආසද ඔයා? ගන්න අනේ.. කාලා බලන්න... හැබැයි කටේ තියන්න බැරිද දන්නැහැ ඔන්න" නුරායා හිනාවෙවී එහෙම කියද්දී, ජනිත් ඉක්මනටම නුරායාගේ බත් එකට අත දාලා පොලොස් කෑල්ලක් ගත්තා. "කරදර නැද්ද මේවා උදේට හදන්න? මට හිතාගන්න බැහැ උදේට කොහොමද උයන්නේ කියලා ඔෆිස් එන්න ලෑස්තිවෙන ගමන්" ජනිත් බරටම ඒ ගැන හිතන බව හැමෝටම පෙනුනා. නුරායා නැවතත් තමන්ට වඩා බාල වුණ මේ තරුණයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ හිනාවෙන ගමන්. "එහෙම තමයි ඉතිං.. පුරුදු වුණාම හරියනවා.. මධු අක්කාත් උදේට උයලා එන්නේ.." නුරායා එහෙම කිව්වාම මධූ යන්තම් හිනාවකින් ඒ කතාවට ප්‍රතිචාර දැක්වූවා.

Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓Where stories live. Discover now