සඳට පෙම් බඳින්නම්... 🌙💝
79.⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡
මීළඟ දින කීපය ගතවුණේ කයිසරයේ හයවෙනි මහලටත් වඩා අනෙක් මහලවල්වල සේවකයන්ව රාජකාරීවලින් කර මුලටම හිරකරමින්. ඒ අන් කවරක්වත් නිසා නොවෙයි, සිංහල දෙමළ අලුත් අවුරුද්ද අතිශයින්ම ලං වූ බැවින්. නිවැරදි ආකාරයට නම් අප්‍රේල් මාසයට අදාල වැඩ කටයුතු පෙබරවාරි හෝ මාර්තු මාස වලදී අවසන් කර බාරදිය යුතු වුවත්, සමහර ව්‍යාපෘති කණ්ඩායම්වල නොසැලකිලිමත් වැඩ ස්වභාවය නිසා එම කටයුතු පහු වී ඇත.
කයිසරයෙහි සේවාලාභීන් ප්‍රමාදවීම් පිළිබඳව චෝදනා නගද්දී, සාගර මහතාගේ කෑ ගැහීම්වලින් මුලු කයිසරයම ගිනිගත්තේ අවුරුද්දෙහි සතුටත් සේවකයින්ගේ සිත්වලින් තොරකරමින්.
"බලහන්කෝ මේ කරුමේ... ඔක්කෝම වැඩ ටික අවුරුද්දට කලින් ඉවරකරලා හුස්මක් කටක් ගන්න කියලා හදද්දී පල්ලෙහා සෙකන්ඩ් ෆ්ලෝ එකේ වැඩ ටිකත් මෙහෙ එවලා එහෙ අයට හෙල්ප් ඕනේ කියලා" ජනිත් කටත් ඇද කරගෙනම ලිපිගොනුවක් පෙරලන්න ගත්තේ ඉක්මනින්ම අවසන් කල යුතු රාජකාරියක් තමාට ලැබී තිබුණු බැවින්.
"සෙකන්ඩ් ෆ්ලෝ එක කොහොමත් අවුල්..." අරවින්දත් ජනිත්ගේ කතාවට සහය වෙමින් එලෙස මිමිණුවේ නිරාශා තම දෑස් කරකවද්දීයි. ඒ හදිසියේම දෙවෙනි මහලේ අරවින්දගේ එක්ස්, වයි, ඉසෙඩ්ව ඇයගේ මතකයට පැමිණී නිසයි.
"ආයෙත් අහලා.. අනේ මන්දා බං.. වෙලාවකට හිතෙනවා අර මනුස්සයා පව් කියලාත්. මොනා වුණත් සාගර සර් කෑ ගහන්නෙත් නිකං නෙවෙයිනේ බං.. මේවා මාස කීයකට කලින් වැඩ ද කියහන්කෝ... අවුරුද්දට දාන්න ඕනේ ඇඩ්ස් ටිකේ වැඩ කලින් ඉවරකරන්න එපැයි. එතකොටනේ අපිට හරියට පේමන්ට් එක වුණත් එන්නේ. දැන් බලහන් මුන් ඔක්කොම ටික ෂූට් කරලා එව්වා මෙව්වා ඉවරකරලා ෆයිල්ස් වැඩ ටික විතරක් තියන් ඉදලා පස්සේ කරන්න. අන්තිමේ ඒවා ඔක්කොම ගොඩ ගැහිලා අර කොහෙද මන්දා කුණු කන්ද වගේ..." ජනිත් කියවගෙන යද්දී, තිසර මෙන්ම මධුමිතා ද හිස සලා ඔහුගේ කතාව අනුමත කලා. අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු ලැබෙන අද දිනයේත් රාත්‍රීය වනතෙක්ම වැඩ කරන්න කවුරුත් කැමතිවුණේ නැහැ. නමුත් සිදුවුණේද එයයි.
YOU ARE READING
Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓
Genel Kurguඉතිං සඳවත, මම නුඹට පෙම් බඳිමි! [ආරම්භය: 2022.03.17]