එක

11.9K 631 47
                                    

මං එයාව මුලිම්ම දැක්කෙ කවද්ද කියන්න මං දන්නෙ නෑ. මං දන්නෙ මං එයාව කාලයක් තිස්සෙ දැනගෙන හිටියා කියලා. ඒ කිව්වට ඒ හැටි කාලයක් නෙමේ. අවුරුදු දෙකක් විතර. මගෙ මුල්ම මතකෙ තියෙන්නෙ එයා අපේ ගෙදර එනවා. හැබැයි ඒ වෙද්දිත් මං එයාව, එයා මාව දන්නවා. ඒ කවදා කොහොම ඇති වෙච්ච ඇඳුනුම් කමක්ද මං දන්නෙ නෑ.

කොහොම හරි එයා මුලිම්ම ආවෙ නම් අපේ අම්මව බලන්න. එයා කිව්වට එයා නෙමෙයි එයාගෙ අම්මා තමයි ආවෙ. එයාගෙ අම්මයි අපේ අම්මයි හොඳ යාළුවො. එයාලට නම් අපේ වගේ මොලේ කර කරගෙන කල්පනා කරන්න ඕන විදියෙ සම්බන්දයක් නෑ. එයාලා යාළුවො වෙලා තියෙන්නෙ සිල් ගන්න ගිහින්. පන්සලේදි ඕපදූප හලන්න සෙට් වෙලා!
නෑ නෑ.
මං එහෙම කියන්නෙ අම්මව අවුස්සන්න. එයාලා භාවනා කරලා හිත දියුණු කරගෙන මුණ ගැහිලා තියෙන්නෙ.

කොහොම වුනත් එදා එයා ආවෙ එයාගෙ අම්මව හොයාගෙන. බෙල් එක ගහද්දි දොර ඇරියෙ මම නිසා මටම තමයි ගෙට එක්කං ඇවිත් වාඩි කරවන්න වුනෙත්. එක්කගෙනම ආවට මොකද මූණෙ හිනා පොදක් නෑ. ගල් බමුණෙක් වගේ. හැටි විතරක්!
එහෙම කිව්වට පොඩි හැන්ඩි ගතියක් නැත්තෙමත් නෑ ඉතින්.

අපේ අම්මා නම් ඉතින් 'සුදු පුතේ' කියාගෙන පිලිගත්තෙ. හොඳ සුදු. මේකගෙ කොහේ තියෙන සුදක්ද? ඔන්න මේ මට නම් කිව්වත් කමක් නෑ.
අනික අම්මත් එක්කවත් මේ යකා හරිහමං හැටියකට හිනා වුනේ නෑ. මහන්තත්තකම ඉහටත් උඩින්.

"සුදු පුතා තේකක් බොනවද?"
ඔන්න පටන් ගත්තා අම්මා ආයෙම!

දැන් බොනවා කිව්වොත් කවුද තේ හදන්නෙ?
අම්මට උණ හැදිලා හිටියෙ. ඒකනෙ අර ඔළු බක්කගෙ අම්මා ආවෙ දුක සැප බලන්න. මට තමයි දැන් ආයෙම තේ හදන්න වෙන්නෙ.

මං හිටියෙ මූණත් පුළුටු කරගෙන. එක එකාගෙ ලොකුකම් බලන්න වුනා මදිවට හදපල්ලකො තව තේත්!!!

සුදු නෙමේ ## පුතා ඔන්න ඒ පාර මගේ දිහා බලනවා කටත් හදාගෙන. දෙන්න හිතෙන්නෙ මට පයිං එකක් උඩින් යන්න.
මල සමයං බෝල සබං!

"හා ඇන්ටි එහෙනම් ඉඟුරු තේකක්"

යකෝ කෙලියක් වුනානෙ මේක.
ගෙදරකට අත් දෙක වන වන ඇවිත් ලැජ්ජ නැතුව තේත් ඉල්ලනවා.
හිතිං බැන බැනම මං ගියේ කුස්සියට.
සීනි තේකොළ වෙනුවට ගම්මිරිසුයි ලුණුයි දාන්නෝන තේකට.
තව තලපල්ලකො ඉඟුරුත්!

තේත් හදාගෙන මං ගියේ කන්න බිස්කට් එකක්වත් නොගෙන. අලි ඔළුවට මොන බිස්කට්ද?
මට ඉන්නෙ මූ එක්ක යකා වැහිලා.
ඒත් ඉතින් හිතලා බැලුවොත් මට මෙච්චර ඩෝං යන්න දෙයක් මිනිහා කරලත් නෑ තමයි.
කොහොම වුනත් මට මිනිහා අල්ලන්නෑ එච්චරයි.

තේක බොන ගමන් ගෙයි සාලෙ පුරා ඇවිද ඇවිද එල්ලලා තිබ්බ ෆොටෝ බැලිල්ල තමයි කලේ. පිට ගෙදරකට ඇවිත් හැසිරෙන්න දන්නෙ නැද්ද මන්දා?
පිස්සෙක්ද කොහෙද?
මං බලං හිටියෙ අම්මයි පුතයි යනකල්.
නිවාඩු දවසෙ ගෙදර නිදහසේ ඉන්නත් නෑ එක එකාට තේ හැදිලි මිසක්.

අන්තිමේ පැයකින් විතර යාන්තම් දෙන්නා ගියා. මං නම් කොහොමත් කතාවට ගියේ නෑ. ගෙදරට ආපු මිනිස්සු නිසා ඔන්නොහේ පේන හරියකට වෙලා ඔළුව වන වනා හිටියා.
මාර නිදහසයි දැන්නම්!

රෑට කඩෙන් පාං ගෙනත් අම්මයි මායි කාලා නිදාගන්න යද්දි අම්මා එක සැරේම කතා කලා.

"පුතා, අඳුනනවා නේද සුදු පුතාව?"

සුදු නෙමේ ## පුතා!
අම්මටත් පිස්සු. කොහෙද යන හෝන්තුවක් අල්ලං කියවනවා.

"හ්ම්, දැකලා තියෙනවා."
මං කිව්වෙ ඕනවට එපාවට.

"පව්, පුතේ ඒ දරුවා.
හරියට කරදර.
කාගෙහරි ඇස් වහක් කට වහක් වෙන්නැති.
නැත්තම් සීදේවි දරුවා.
ලෙඩ අඩු වුනාම කේන්දරේ බලවගෙන එන්න ගමේ වෙද මහත්තයා ලඟට එක්ක යන්න හිතුවෙ මං"

මොකාක්?
අම්මට ඇත්තටම පිස්සු හැදීගෙන එනවද මන්දා?

"අම්මා මොකටද ඕවට දඟලන්නෙ?
ඒ මිනිස්සුන්ගෙ වැඩ ඒ මිනිස්සු බලාගනී!
ඕවට මැදිහත් වෙලා නිකං නරක මිනිහත් වෙන්න වෙයි අන්තිමේ"

"හිමාන්, ඔහොම කතා කරන්න එපා පුතා.
ඒ දරුවා ලොකු කරදර ගොඩක ඉන්නෙ. සල්ලි ප්‍රශ්න එක්ක නඩු හබ ගොඩකත් පැටලිලා. ඒ අස්සෙ නිතර අසනීප. ඔය හුඟ කලකින් අද එලියට බැහැලත් තිබුනෙ.
අනික චිත්‍රා නෝනා හරි හිත හොඳ ගෑනි. මට කොයි තරම් පිහිට වෙලා තියෙනවද උදව් ඕන වෙලාවලදි. පුතා දන්නෙ නෑනෙ ඒ ගැන"

ඔන්න ඉතින් අම්මගෙ දේශනේ. ඕවට කතා කරලා වැඩක් නෑ.

"හරි අම්මගෙ කැමැත්තක්. හැබයි අන්තිමේ හිත රිදවගෙන අම්මා අඬනවට නම් මං කැමති නෑ.
එහෙම නොවෙනවා නම් ඕන එකක්!
මං යනවා නිදා ගන්න.
අම්මට මොකුත් ඕන වුනොත් මට කතා කරන්න. තනියම ඇවිදින්න එපා."

මං කාමරේට ඇවිත් ඇඳට වැටුනා.
ඇත්තටම තේජාන්ට, ඒ කිව්වෙ අලි ඔළුවට ප්‍රශ්නද?
ඒකද මිනිහා නිකං දාහට අරං සීයට දීලා වගේ ඉන්නෙ?

එකාතකට මට මොකටද ඕවා.
මිනිහා දැනගන්නෙපැයි තමන්ගෙ ප්‍රශ්න විසඳගන්න. මට මේ තියෙන ප්‍රශ්න මදෑ අනුංගෙ ඒවා නැතුවට.
මං හොඳට ගුලි වෙලා ඇස් දෙක පියාගත්තා.

කඩුපුල් (Complete)Where stories live. Discover now